ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ පන්දු යවන්නන් අතර ලොව පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් පෙරමුණ ගෙන සිටි රෂීඩ් ඛාන් (669) දෙවැනි තැනට දමමින් තීක්ෂණ පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 680ක් සමඟිනි. 24 හැවිරිදි තීක්ෂණ පන්දු යවන්නන් අතර පෙරමුණගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
තීක්ෂණ ලබාගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව (680) මෙය නොවන අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගයෙන් අනතුරුව ඔහුට ලකුණු 686ක් හිමිව තිබේ. එහෙත් දෙවැනි තරගයේදී කඩුලු දවා ගැනීමට නොහැකි වීමෙන් ලකුණු සංඛ්‍යාව පහත බැස ඇත.
ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ පැවති පළමු එක්දින තරගයේදී කඩුලු 4ක් බිඳ දමමින් දැක්වූ දස්කම් හේතුවෙන් තීක්ෂණට පෙරමුණ හිමි විය.
වනිඳු හසරංග (570) ස්ථාන 2ක් ඉහළට එමින් 19 වැනි අත්කරගෙන ඇති අතර, දුනිත් වෙල්ලාලගේ ස්ථාන 15ක් ඉදිරියට ඒම කැපී පෙනේ. ඔහු මේ වන විට 37 වැනි තැනට පත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණිගත ලකුණු ලෙස ලකුණු 506ක් සමඟිනි. අසිත ප්‍රනාන්දු ද ස්ථාන 30ක් ඉහළට පැමිණ 57 තැන අත්කර ගෙන තිබේ.
මේ අතර දීර්ඝ කාලයක් පුරා එක්දින පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටි පාකිස්තානයේ බාබර් අසාම් දෙවැනි තැනට දමමින් ඉන්දියාවේ ශුබ්මන් ගිල් පළමු ස්ථානය හිමි කර ගෙන තිබේ. ශ්‍රී ලංකා සීමිත ඕවර නායක චරිත් අසලංක සිය හොඳම ශ්‍රේණිගත කිරීම සටහන් කරමින් ලකුණු 694ක් සමඟ 8 වැනි තැනට පත්ව ඇත. පැතුම් නිස්සංක (641) ස්ථාන දෙකක් පහතට වැටී 13 තැන සිටින අතර, කුසල් මෙන්ඩිස් (613) ස්ථාන 3ක් ඉදිරියට එමින් 21 වැනි තැන සිටී.