Sunday, April 20, 2025
Home » ‘ගණේමුල්ල සංජීව‘ ඝාතනය ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනුත් විමර්ශනයක්

‘ගණේමුල්ල සංජීව‘ ඝාතනය ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනුත් විමර්ශනයක්

by chanaka
February 20, 2025 12:39 pm 0 comment

විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණ භූමියේදී වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පැවසීය.

ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් ද මූලික විමර්ෂණයක්ද මේවන විට ආරම්භ කර ඇත.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමති සැකකරුහට අධිකරණයේ විසදීමට නඩු විසි දෙකක ප්‍රමාණයක් තිබූ අතර, ඊයේ(19) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 09 වෙත භෞතික ඉදිරිපත් කිරීමක් සදහා අධිකරණය විසින් නියෝග ලබා දී තිබිණි. ඊට අමතරව අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 වෙත නඩු දෙකක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව, ඔහු විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමානවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිළධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොළිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඊයේ පෙරවරු 09.45 ට පමණ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී නාදුනන පුද්ගලයකු විසින් සැකකරුහට වෙඩි තැබීමක් සිදු කර තිබූ අතර එයින් බරපතළ තත්වයේ පසු වූ සැකකරු කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි ජීවිතක්ෂයට පත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT