පෙබරවාරිය උණුසුම් ය. චණ්ඩ හිරු රැස් පතිත වෙමින් තිබේ. ඉවසිය නොහැකි තරම් දාහයකින් ගත වෙළී යයි. සූර්යයා මුදුන් වී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙකී චණ්ඩ හිරු රැස් සහිත දාහය තවත් කලක් පවතිනු ඇත.
‘පෙබරවාරිය’ කියූ සැණින් කෙනකුට සිහිපත් වන්නේ වැලන්ටයින් දිනයයි. නව යොවුන් තාරුණ්‍යය සහ ජනප්‍රියවාදී ‘මාර්කටින්’ වෙළෙන්දෝ ‘ආදරවන්තයන්ගේ දිනය’ හෙවත් ‘වැලන්ටයින් දිනය’ අති උත්කර්ෂවත් ලෙස සැමරූහ. බොහෝ විදත් හා මුද්‍රිත මාධ්‍ය ද ඒ සඳහා ප්‍රමාණවත් තරම් ඉඩක් වෙන් කළහ.
එහෙත් සමාජ දේශපාලනික මනෝභාවයකින් යුක්ත අයකුට ‘පෙබරවාරිය’ කියූ සැණින් අකාලයේ මරා දැමුණු රිචඩ් ද සොයිසා සිහි වේ. ඔහු පිළිබඳ ආදරණීය හැඟුම්බර මතකයකින් අපේ මනස උණුසුම් වෙයි. එය පෙබරවාරියේ චණ්ඩ හිරු රැසේ උණුසුමට වඩා ගිනියම් වූ මතකයකි.
වඩාත් නිදහස් හා සාධාරණ ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු පළ කළ බොහෝ මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැන රිචඩ් පිළිබඳ ආදරණීය මතකයක් වෙයි. ඔහු හුදෙක් පත්තරකාරයකුට වඩා, නළුවකුට කලාකරුවකුට වඩා එහා ගිය මානව හිතවාදියකු වීම ඊට හේතුවයි. කෙනකුගේ මතකය තුළ සදාතනික ස්මරණයක් ඉතිරි කර මිය යා හැකි මිනිසකු වේ නම්: ඔහු අමරණීය චරිතයක් ම වෙයි.
රිචඩ් යනු ශ්‍රී ලාංකේය දේශපාලනයේ බරපතළ සමාජ අසාධාරණයකට ලක් වූ මිනිසෙකි. ජීවත් වූ රිචඩ්ට වඩා මියගිය රිචඩ් වඩාත් බලසම්පන්නව සමාජය හමුවේ නැඟී සිටියේය. ඔහු තවමත් තමන් වෙනුවෙන් සහ තමන් ප්‍රාර්ථනා කළ ලෝකය වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටින්නෙකි.
රිචඩ්ගේ මරණයෙන් පසු පැවති සැම මැතිවරණයකදී ම ඔහුගේ නම සඳහන් වුවත්, ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු වූවා ද යන සැකය අප තුළ පවතී.
රිචඩ් ද සොයිසා නමින් මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ගොඩනැඟුණත්, එහි ජීවත් වන මාධ්‍යවේදීන් හෝ ඔවුන්ගේ දරුවන් රිචඩ් යනු කවරෙක්දැයි නිවැරදිව හඳුනා ගෙන ඇත් ද යන්න ගැටලුවකි. එබැවින් ඔහු වෙනුවෙන් නිවාස සංකීර්ණ හෝ චිත්‍රපට හෝ, කවි ගීත ගොඩනැඟීමෙන් පමණක් සාධාරණය ඉටු වේ යැයි අපි අපේක්ෂා නොකරමු. එවැනි තොරොම්බල් ක්‍රියා ඕනෑ තරම් අප දැක ඇති හෙයිනි.
රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණේ අදින් වසර 35කට පෙර 1990 පෙබරවාරි මස 18 වැනි දින ය. රිචඩ් පමණක් නොව, ලාංකේය දේශපාලන ඉතිහාසයේ විත්තිකරුවකු නැති මරණ අනන්තවත් සිදු වී තිබේ. විත්තිකරුවකු නැති මරණයක් යන්නෙහි අදහස එය දේශපාලනික ඝාතනයක් බවයි. ගත වූ ඉතිහාසය මුළුල්ලේ බලය සහ එය පවත්වා ගැනීම වෙනුවෙන් දේශපාලනික ඝාතන සිදු වූ බවට අතීතය අමතක නැති ඕනෑ ම අයකු පිළිගන්නා සත්‍යයකි.
1971 අප්‍රේල් අරගලයේදී මරා දැමුණු 10,000කට අධික තාරුණ්‍යයත්, 88-89 අරගලේදී නිරපරාදේ මරා දැමුණු ලක්ෂයකට අධික තාරුණ්‍යයත් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු ය. ඒ කිසිවකු මියගියේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අරගල කිරීමට ගොස් නොවේ. තමා ඉපදුණු ලෝකයට වඩා නිදහස් හා සාධාරණ ලෝකයක් මේ ලක් පොළෝ තලය මත ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් අරගල කිරීමට ගොසිනි.
සත්තකින්ම ජීවත් වූ පුද්ගල චරිතවලට වඩා මියගිය චරිත අපගේ හෘදස්පන්දනයේ වඩා වැඩි තැනක් අත්පත් කර ගන්නේ හැඟුම්බර ස්වරයකිනි. ඒ නිසාම රිචඩ් සහ ඒ පරපුරේ මියගිය නාඳුනන තාරුණ්‍යයට අපරිමිත වූ ගෞරවයක් තවමත් අප හද තුළ ඉතිරිව පවතී. මේ මොහොතේ අපගේ පරම්පරාවේ වගකීම වන්නේ, තමන් කිසිදිනක නුදුටු අනාගත පරම්පරාව වෙනුවෙන් ස්වකීය ජීවිත කැප කළ එකී මිනිසුන්ගේ අරමුණුවලට සාධාරණය ඉටු කිරීමයි. ඔවුන්ගේ අධිෂ්ඨානශීලිභාවය, කැප කිරීම, උත්සාහවන්ත බව අපට මඟ පෙන්වන පරමාදර්ශ බඳු ය. එනිසා වඩාත් අභාග්‍යසම්පන්න ලෙස, තිරස්චීන ලෙස ඝාතනය කෙරුණු ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු ය. එය ඔවුන්ට පමණක් නොව; අනාගත පරම්පරාවට ඉටු කරන සාධාරණයකි. එය සැමරුම් දිනවලින්, උත්සවවලින්, දේශනවලින්, සමරු සටහන්වලින් ඔබ්බට ගිය කාරණයක් විය යුතු ය. දිනදර්ශන ස්මරණ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් මියගිය අය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට නම් ඔවුන්ගේ බලාපොරොත්තුවලට පණ දිය යුතුය.
මියගිය පුද්ගලයන්ගේ දේශපාලනික අභිමතාර්ථයන්ගෙන් සහ චින්තනයෙන් වියුක්ත කොට ඔවුන් සැමරීම යනු අදේශපාලනික ජනප්‍රිය ක්‍රියාවලියකි. ඒ සඳහා මියගිය අයගේ සිතිවිලි, චින්තනය, පරමාර්ථ සහ උත්තුංග අරමුණු ජීවමානව පවත්වා ගෙන යමින්, ඒවාට සාධාරණය ඉටු කරන ක්‍රමවේදයක් සකස් විය යුතුය.
රිචඩ් ඉංග්‍රීසියෙන් ලියූ පද්‍ය පන්තියක සරල අදහස පහත දැක්වේ. එය, එකල සමාජ භීෂණය පිළිබඳ යම් අදහසක් ගම්‍ය කරවන්නකි.
‘රාත්‍රියේ මහමඟට පැමිණෙන හස්තීහු
මඟ දෙපස විනාශ කරමින් ඉදිරියට ඇදෙති.
අලංකෘත විදුලි පහනින් ආලෝකවත් වූ මාවත් මැදින්
දිදුලන ආලෝකය සසල කරමින්
ඔවුන්ගේ තියුණු දළවල බලයෙන්
නීතිය සහ පාලනය අවනීතියක් කර ගනිති..’
රිචඩ්ගේ මරණයට හේතුකාරක වූවෝ කවරහු ද යන්න තේරුම් ගැනීමට එයම ප්රමාණවත්ය.
එබැවින් රිචඩ් සහ රිචඩ්ගේ පරම්පරාව වෙනුවෙන්, වඩාත් නිදහස් හා සාධාරණ ලෝකයක් ප්‍රාර්ථනා කළ මියගිය නාඳුනන බොහෝ අයගේ පරම්පරාව වෙනුවෙන් අපි යළිත් මෙලෙස ලියා තබමු.
“රිචඩ් සහ ඔහුගේ පරම්පරාවේ පරමාර්ථවලට සාධාරණය ඉටු කරන්න.”