Monday, April 21, 2025
Home » ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය ගැන CCTV දර්ශන ඔස්සේ අඛණ්ඩව විමර්ශන

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය ගැන CCTV දර්ශන ඔස්සේ අඛණ්ඩව විමර්ශන

by chanaka
February 20, 2025 12:56 pm 0 comment

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර වෙඩික්කකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඊයේ පෙරවරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමට අදාළ විමර්ශනවලට අවශ්‍ය කරන සියලු සිසීටීවී දර්ශන පොලීසිය ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) එහි රෙජස්ටාර්වරයාට නියම කළේය.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජිව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පලායාමට සැලසුම් කර තිබියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔහු විවිධ නම්වලින් පෙනී සිටි තිබෙන අතර ඒ සඳහා හැඳුනුම්පත් කිහිපයක් ද භාවිත කර ඇති බව විමර්ශනවලදී හෙළි ව තිබේ.

34 හැවිරිදි මෙම සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවට ද අනාවරණය කර ගෙන ඇත.

මේ අතර මෙම පුද්ගලයට ඝාතනය සඳහා ආධාර අනුබල දුන් නීතිඥවරියක ලෙස පෙනි සිටිමින් අධිකරණ භූමියේ සැරිසැරූ කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.

ඇය ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැනැත්තියක බවට තොරතුරු ලැබී තිබේ.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.

අපරාධය සිදු වූ විගසම ඊටඅදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වන බවත් ඉදිරි විමර්ශන කටයුතු සදහා අධිකරණ නිලධාරීන්ගේ සහ සෙසු පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙනු ඇත.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිලිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන සිසීටීවී දර්ශන මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයේ ලේඛකාධිකාරීට නියම කළාය.

ගණේමුල්ල සංජීවගේ මෘතදේහය මරණ පරික්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මේවන විට තැන්පත් කර තිබේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT