ජීවත් කර ගැනීමට නොහැකි රෝගියාගේ අවයව ජීවිතය ඉල්ලන රෝගියකුට ලබාදීම ඉතාමත් මානුෂීය ක්‍රියාවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසූවාය.
අවයව දන්දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධාන කළ විශේෂ වැඩසටහනකට පෙරේදා (19) එක්වෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය. මොළය මියගිය පුද්ගලයකුට තවත් ජීවිත අටක් ජීවත් කරන්න පුළුවන් යැයිද අගමැතිනිය කීවාය. සෑම වසරකම පෙබරවාරි 18 වැනි දින අවයව දන්දීමේ ජාතික දිනය සමරන අතර එය මෙවර 7 වැනි වරට සංවිධාන කර තිබිණි. මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයන් සිහිකිරීමට නිමවා තිබූ ඵලකයට අගමැතිනිය පහනක් දල්වමින් තම උත්තමාචාරය පිරිනැමුවාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසූවාය.
ජීවත් කරවීමට අපහසු රෝගියාගේ අවයව, තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීම ගැන ඒ පවුල්වල සාමාජිකයන්ට ඉතාම කෘතවේදීව සැලකිය යුතුයි. එවැනි අතිශයින්ම ඥානාන්විත සහ කරුණාවන්ත තීරණ ගැනීමේ ශක්තිය ඒ පවුල්වලට ලැබීම ගැන මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබගේ පරාර්ථකාමීත්වය තුළින් ජීවිත ගණනාවක් ජීවත් කිරීමට හැකි වුණා.ඒ පිළිබඳව ඔබට ඇත්ත වශයෙන්ම සතුටු වෙන්න පුළුවන්. ඒ හරහා ඔබෙන් වෙන්වන පුද්ගලයන් තවත් කාලයක් ජීවතුන් අතර ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න පුළුවන් කියා මම හිතනවා.
අපේ සංස්කෘතිය අපේ ආගම්වලින් මේ දන්දීම කියන දේ බොහෝ ඉහළින් පිළිගන්න යහපත් ක්‍රියාවක්. ඒ පරිත්‍යාගශීලී බව මම නම් දකින විදිහට අපේ රටේ සංස්කෘතිය තුළත් ශ්‍රී ලාංකික වීම යන අනන්‍යතාව තුළත් ශක්තිමත්ව තිබෙන දෙයක්. ඒක අපි මෙවැනි අවස්ථාවල විතරක් නෙමෙයි විපතක් වූ අවස්ථාවකම ස්වාභාවික විපතක් ද සිදුවුණාම අපි සියලු වාද භේද අමතක කර අපේ තියෙන පරිත්‍යාගශීලී ගතිගුණේ මතුවෙනවා. ඒක රැක ගතයුතු, අගය කළ යුතු ගුණාංගයක්. එය තමයි ශ්‍රී ලාංකිකයකු වීම තුළ අපට තිබෙන ශක්තිය. පසුගිය වසර කීහිපයේ ශ්‍රී ලංකාව ලෝකයේ ඇස් දන් දීමේ වැඩිම රට බවට පත්වුණා. එමෙන්ම අපේ රටේ බොහෝ පිරිස් අවයව සහ වෙනත් පටක දන්දීම කරනවා. මේ සඳහා මැදිහත් වූ සියලු වෛද්‍ය වෘත්තිකයන්ට රෝහලේ කාර්යමණ්ඩලයට විශේෂයෙන්ම අවයව පරිත්‍යාගශීලීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන්ට සහ මේ පරාර්ථකාමී ක්‍රියාවට දායකත්වය දී තව කෙනෙකුට දෙවන වරටත් ජීවත්වීමට භාග්‍ය ලබා දුන් ඒ සියලු දෙනාට මගේ හදපිරි කෘතවේදීත්වය පුද කරනවා. මෙහිදී අවයව පරිත්‍යාග කළ පවුල්වල සාමාජිකයන්ට සමරුඵලක හා තිළිණ ප්රදානයක්ද සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්යමණ්ඩලය මේ අවස්ථාවට සහභාගී වූහ.