මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශපාලන හා ආර්ථික අභියෝග පරදා වර්තමානයේ ලබා තිබෙන ප්‍රගතිය අගය කරන බව මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා ප්‍රකාශ කරයි. එම අභියෝග සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව සහ ජනතාව ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය කරා ගමන් කරනු දැකීම සම්බන්ධයෙන් සතුටු වන බව පෙන්වාදෙන ඒ මහතා සියලු දැවැන්ත අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මෙරට නායකත්වයට සහ ජනතාවට ප්‍රශංසා කරන බව ද කියා සිටියි. තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. විදේශ, සංචාරක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මේ මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෑත කාලීන දේශපාලන හා ආර්ථික අභියෝග සලකා බැලීමේදී, ශ්‍රී ලංකාව සහ ජනතාව ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය කරා ගමන් කරනු දැකීම ගැන මම සතුටු වෙනවා. සියලු දැවැන්ත අභියෝග මැද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ ජනතාවට මම ප්‍රශංසා කරනවා. මෙතරම් කෙටි කාලයකින් එය ශ්‍රී ලාංකික ජනතාවගේ ශක්තිමත් ආත්මයට සහ ඔරොත්තු දීමේ හැකියාවට සැබෑ සාක්ෂියක්. ශ්‍රී ලංකාව සැමවිටම අපගේ සමීපතම මිතුරෙක් සහ හවුල්කරුවෙක්. මේ වසරේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරනවා. මේ ඓතිහාසික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන්ම කැප වී සිටිනවා. අද ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති විජිත හේරත් මහතා සහ මම ආර්ථිකය, සංචාරක ව්‍යාපාරය, පරිසරය, පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, ධීවර කර්මාන්තය, සෞඛ්‍ය, තරුණ රැකියා, ක්‍රීඩා, පාරිභෝගික සේවා සහ කලාපීය හා බහුපාර්ශ්වික සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා කළා.
විදේශ, සංචාරක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා –
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාලදිවයින් විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ කළ පළමු සංචාරය මෙය වන අතර, එය අපගේ ජාතීන් දෙකටම විශේෂ වැදගත්කමක්.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින ශක්තිමත් සමාජ – සංස්කෘතික සබඳතා මත පදනම් වූ විවිධ ක්ෂේත්රවල සියවස් ගණනාවක් පැරණි සබඳතා භුක්ති විඳිනවා. දිගුකාලීන මිතුරන් මෙන්ම කලාපීය සහ බහුපාර්ශ්වික සංවිධානවල සාමාජිකයන් ලෙස රටවල් දෙක වසර ගණනාවක් පුරා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කාරණා සම්බන්ධයෙන් සහයෝගීතාව ගැඹුරු කරගෙන තිබෙනවා. මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව අපගේ සමීප සබඳතා සහ අපගේ බහුවිධ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති කැපවීමට සාක්ෂියක් වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් විදේශ ඇමැතිවරයා සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය හමුවීමට නියමිතයි. ටික කලකට පෙර, ඇමැති අබ්දුල්ලා කලීල් මහතාට සහ මට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ මාතෘකා පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබුණා. ආරම්භයේදීම, මාලදිවයින සමඟ අපගේ ද්විපාර්ශ්වික සබඳතා නව හා ඉහළ තලයකට ඔසවා තැබීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රකාශ කළා.
එය රටේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවයක් වෙනවා. ඒකාබද්ධ ව්‍යාපාර හරහා ආයෝජන හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ අරමුණින්, මාලදිවයිනේ විවිධ අංශවල ආයෝජන සඳහා මම ආරාධනා කළා. මාලදිවයින සමඟ සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙනවා යැයි පැවසීය. මාලදිවයින් විදේශ ලේකම් ෆාතිමාත් ඉනායා, ශ්‍රී ලංකා විදේශ ලේකම් අරුණි රණරාජා, විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන මධුක වික්‍රමාරච්චි, නිලූක කදුරුගමුව මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය – මාලන් කරුණාරත්න