මෙරට දේශපාලනඥයන්ගේ සහ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරකම් නිසා පීඩාවට පත් ජනතාව වෙනසක් අපේක්ෂා කළ බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
සුනාමි ව්‍යසනයට වසර 20ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන විශේෂ සුනාමි සැමරුම් උත්සවයක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ විදේශීය කරිටාස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුස්මරණ ශාලාවේදී ඊයේ (19) පැවති අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
සුනාමි ව්‍යසනයෙන් මරණයට පත්වූවන් සිහිපත් කරමින් මෙහිදී විශේෂ දිව්‍ය පූජාවක් පවත්වනු ලැබූ අතර අනතුරුව සුනාමියෙන් ව්‍යසනයට ලක්වූවන්ගේ පවුලේ ඥාතීන් විසින් සමරු ඵලකයට පුෂ්ප උපහාර දක්වනු ලැබීය.
එහිදී තවදුරටත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.
“2024 සුනාමි එනකොට මම හිටියේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර.එහි විශාල පිරිසක් ව්‍යසනයෙන් මරණයට පත්වුණා. ඉන්දුනීසියාවේ සුනාමියෙන් ව්‍යසනයට පත් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ රෝමයේ සමුළුවකට යන්න මට අවස්ථාව ලැබුණා. මම මෙහිදී පාප් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. සුනාමියෙන් ව්‍යසනයට පත්වූ ජනතාවට සහන සැලසීමට සියලු දේ සිදුවුණේ එතුමාගේ මැදිහත්වීමෙන්.මේ සෞරග්‍රහ මණ්ඩලයේ වාසයට සුදුසුම ග්‍රහලෝකයේ අපට ජීවත් වෙන්න ලැබී තිබෙනවා. බයිබලයේ එක සහ දෙක පරිච්ඡේදයේ ලෝකයේ බිහිවීම පිළිබඳ සඳහන් වන පරිච්ඡේදවල මිනිසා සහ මහපොළොව අතර තිබුණු සමගිය විනාශ කරන්න පාපය ඇතුළු වූ හැටිත් එය ව්‍යසනයක් බවට පත් වූ හැටිත් අපූරුවට සඳහන් වෙනවා.
මිනිසාගේ අධික කෑදරකම, තණ්හාව, ආශාව නිසා මේ ලෝකයේ මේ මහ පොළොවේ සෑම දෙයක්ම සූරාකෑමට ලක් වෙනවා. සම්පත් මුදල් බවට හරවන්න උත්සාහ කිරීම නිසා දරුණු ලෙස අපේ ලෝකය පීඩාවට හිංසනයට ලක්වෙනවා. සුනාමි වගේ දැඩි ව්‍යසනයක් ඇතිවෙන්නේ පරිසරය ගැන තැකීමක් නැතිව ස්වභාවධර්මය විසින් අපට දායාද කර තිබෙන සම්පත් ගැන කිසිම අගය කිරීමක් කිසිම ස්තුතිපූර්වක හැඟීමකින් තොරව මිනිසුන් කටයුතු කිරීම නිසයි. පරිසරයෙන් අපට දැඩි ව්‍යසන ප්‍රතිවිපාක අත්වෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකාව විශේෂයෙන්ම බොහොම අලංකාර හරිත වර්ණයෙන් පිරි රටක්.උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගහකොළින් පිරුණු නීල හරිත දේශයක්. සංචාරකයන් පවා අපේ රටට ආවම ඒ අලංකාරය ගැන බොහොම ආසාවෙන් වර්ණනා කරනවා.මහ පොළොව විනාශ කරන්නේ මුදල් සහ බලය ලබා ගැනීමේ අරමුණින්. දැවැන්ත බහුජාතික සමාගම් විසින් කරන පරිසරය විනාශ කිරීමේ ක්‍රියාකාරකම් අපට අද හෙළිවෙමින් තිබෙනවා. දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ වාසියට බහුජාතික සමාගම්වලින් මුදල් ලබාගෙන බහුජාතික සමාගම්වලට මේ දේවල් දිගටම කරගෙන යෑමට අවසර දෙනවා.අපේ රටේ පසුගිය වසර 76 පුරාවට මේ දේවල් සිදු වෙලා තිබෙනවා. දේශපාලනඥයන්ගේ ඕනෑඑපාකම්වලට බහුජාතික සමාගම් අපේ මහ පොළොව සතු දේවල් හොරකම් කරනවා, විනාශ කරනවා. අපේ රටේ ජනතාව මොවුන්ගේ මේ ක්‍රියාකාරකම් නිසා විඩාවට පත් වෙලා තිබෙනවා. ඒකයි ඔවුන් වෙනසක් අපේක්ෂා කළේ. මිනිස්සුන්ට ඒ වෙනස අවශ්‍ය වූ නිසාම ඒක අපේ වගකීමක් වෙනවා. නැවතත් රටේ ප්රජාතන්ත්රවාදය, යහපත් සාරධර්ම, ගුණධර්ම ඇති කරන්න නැවතත් සාමය සහජීවනයෙන් යුතු වටපිටාවක් පරිසරයක් ඇති කරන්න, යහපත් සදාචාරාත්මක හැසිරීම් නැවතත් මේ රටේ බිහි කරන්න අප සතු විශාල වගකීමක් තිබෙනවා.”
ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය, ආගමික නායකවරු, යාපනය බිෂොප්, කරිටාස් සභාපති ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාශම් පියතුමා, සුනාමියෙන් ව්‍යසනයට ලක්වූවන්ගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප – සුලෝචන ගමගේ