පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිසමට පැවරී ඇති බවත් කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහි නියෝජිතවරුන් සමඟ ඊයේ (19) අදහස් හුවමාරු කර ගත්හ. අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයා මේ බව පැවසුවේය.
“ පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකකට වඩා කල්ගියා. පරණ නාමයෝජනා අවලංගු කරලා අලුත් නාමයෝජනා කැඳවන්න මැතිවරණ පනත ඒකමතිකව සම්මත කරගන්න හැකියාව ලැබුණා. කල්ගිය ඡන්දය කොමිෂන් සභාවට හැකි ඉක්මන් දිනයක පවත්වන්න කියලා කියන්නයි අපි ආවේ. ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරිලා තියෙනවා. ඔවුන් එකඟ වුණා ඔවුන්ට හැකි ඉක්මන් දිනයක ඡන්දය පවත්වනවා කියලා“ යැයි කීය.
මාර්තු 21 පමණ වනවිට අය-වැය අවසන් වන බවත්, ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බවත් නාමයෝජනා කැඳවා දින 35ත් 40ත් අතර කාලයකින් මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා එහි දී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතීඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය- රුක්මල් ගමගේ