‘ඔටෝ රෙනෝ කැස්ටිලෝ’ නමැති ගෝතමාලානු කවියා විසින් ලියන ලදු ව, රිචඩ් ද සොයිසා විසින් සිංහලට පරිවර්තනය කරන ලද කවියක් වන මෙය, රිචඩ්ගේ කාර්යාලයේ මේසයට ඉහළින් වූ දැන්වීම් පුවරුවේ අළවා තිබිණ. මෙය, ඔහු ඉතා ප්‍රිය කළ කවියකි. මෙම කවියේ රචකයා වන කැස්ටිලෝද, රිචඩ්ගේ වයසේදීම ඝාතනයට ලක්විය.
යම් දවසක
පුංචි අහිංසක මිනිසෙක්
මා මව්බිමේ
බලවත් බුද්ධිමතුන්ගෙන්
පැනයක් අසාවි
“නුඹලා කුමක් කළා ද?”
ඔහුගේ පැනය වන්නේ
“නුඹලා කුමක් කළා ද?
මේ දේශය, අපේ මව්බිම
පුංචි, පාළුවට ගිය මඳ ගින්නක් සේ
සෙමෙන් සෙමෙන් නිවී යද්දී
නුඹලා කුමක් කළා ද?”
බලවත් බුද්ධිමතුන්ගේ
වස්ත්‍ර විලාසය පිළිබඳ ව,
ඔවුන්ගේ දවල්
ආහාරයට පසු ගන්නා
දිගු විවේකී නින්ද පිළිබඳ ව
පුංචි අහිංසක මිනිසාට
ඇසීමට අමතක වේවි.
ඔවුන්ගේ පුහු අදහස්
හිස් පරමාර්ථ
මුල් කර ගන්ට ගෙන ගිය
ව්‍යාජ සටන්
වැදගත්කමක් නැතිව යාවි
ඔවුන්ගේ ප්‍රඥාව තියුණු කළ
පුරාණ ග්‍රීක මිථ්‍යා කතා ගැන
ඇසීමට ප්‍රශ්න නැති වේවි.
බලවත් බුද්ධිමතුන්ගේ හදවත් තුළ
යම් හැඟීමක් යම් සිතිවිල්ලක්
බියගුලු මරණයකට ගොදුරු වෙද්දී
ඔවුන් තුළ ඔවුන් ගැන ම
පිළිකුලක් ඇති වුණාදැයි
කවුරුත් නො අසාවි
අසත්‍යයක්
සම්පූර්ණ අසත්‍යයක් සෙවණ කිරීමට උපන්
හිස් නිර්දෝෂී බව
ව්‍යාජ යුක්ති සහගත බව
කවුරුත් ප්‍රශ්න නො කරාවි
එදා,
අහිංසක මිනිසා උපදී
බලවත් බුද්ධිමතුන්ගේ
උසස් ග්‍රන්ථවල වැකියක් නො ලත්
නිසඳැස්, කවිවැල්වලින් නො කියැවූ
කුඩා අහිංසකයා
බලවතුන්ගේ පාන් හා කිරි
ඔවුන්ගේ රොටී හා බිත්තර
නිවෙස්වලට ගෙන ආ,
බලවතුන්ගේ වස්ත්‍ර මසා දුන්,
රථවාහන, සුරතල් බළලුන්, වතු යාය
සොයා බලා ගත්
අහිංසක මිනිසා
එදා මෙසේ අසාවි
“දුප්පතුන් දුක් විඳිද්දී
ආදරය කරුණාව පිළිස්සී
සදා ජීවිත ගිනි ගනිද්දී
නුඹ කුමක් කළේ ද?”
මගේ ආදරණීය මව්බිමේ
බලවත් බුද්ධිමතුනේ,
ඔබේ දෙතොලේ පිළිතුරක්
නැති වී යනු ඇත.
ගිජු ලිහිණියකු වැනි හිස් නිහඬබවක්
ඔබ සර්වාංගය ම දවා කා දමයි
දුක් ගිනි ඔබේ හදවත පසා කරයි
ඔබ නිහඬ වෙයි
ලජ්ජාවෙන් පිළිකුළෙන්
ඔබ නිහඬ වෙයි!
ගෝතමාලානු කිවි ඔටෝ රෙනෝ
අනුවාදය රිචඩ් ද සොයිසා