රිචඩ් ද සොයිසාගේ මාධ්‍ය භාවිතය විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා ජනමාධ්‍ය සහෝදරයින් සමඟ වෙහෙසෙමින් ගෙවූ දශක තුනකට එහා කාලය වේගයෙන් ඉපැරණි වී ගොස් ය. යළිත් පෙබරවාරියක් පැමිණ තිබේ. ඒ, රිචඩ් ද සොයිසාගේ ඝාතනයට වසර 35ක් සපුරමිනි.
ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොළ විසින් ගන්නා ලද, කාලයක් තිස්සේ පොත් රාක්කය මත වන, රිචඩ්ගේ ප්‍රසිද්ධ ම සේයාරුව දෙස හැරී බලමි. දෑත් නිකටට තබාගත් රිචඩ්, වම්පස බලා හිඳින ආකාරය සටහන් වූ ඒ සේයාරුව, ඔහුගේ ජීවිතය පිළිබඳ බොහෝ දෑ නිහඬ ව දරා හිඳිනු වැනි ය.
මෙරට සිටි විශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ ටාසි විට්ටච්චි, 1990 පෙබරවාරියේ මෙසේ ලිවීය.
”පත්‍රකලාවේදියකුගේ මරණයෙන් එම වෘත්තිය ක්ෂය වන අතර, හොඳ ඉතාමත් දීප්තිමත් හා අගනා පත්‍රකලාවේදියකුගේ මරණයෙන් සමස්ත ශිෂ්ටාචාරයම ක්ෂය වේ. රිචඩ් ද සොයිසා ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍යයේ මෙන්ම, මුද්‍රිත මාධ්‍යයේද හොඳ ජනමාධ්‍යවේදියකු විය. ඔහු හොඳින් කතා කළ අතර, හොඳින් ලිවීය. ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ වැඩ කටයුතු සඳහා දැක් වූ ලැදිකමයි. මරා දැමීමෙන් රිචඩ් ද සොයිසා නිහඬ කර ඇති නමුත්, ඔහුගේ වැඩ කටයුතු හා වෘත්තීයමය වටිනාකම් නිසා සෑම තැනක ම සිටින සියලු ම ජනමාධ්‍යකරුවන්ගේ මාධ්‍ය කටයුත්ත පෝෂණය වනු ඇත. ජනමාධ්‍ය ශිල්පීය වෘත්තියෙහි කටයුතු වැඩි දියුණු කිරීම සඳහා නො කඩවා කටයුතු කිරීමට නිතර වෙහෙසුණු රිචඩ් ඉතාමත් හොඳ බලාපොරොත්තුවලින් එකක් හැටියට සඳහන් කළ හැකිය. මටත්, සෙසු අයටත් ඔහු පෙනුනේ ඉන්ටර් ප්‍රෙස් පුවත් සේවයේ අධ්‍යක්ෂ ජනරාල් රොබටෝ සාවියෝ හැටියට ය. නිදහස් පත්‍රකලා මූලධර්මයේ ගලවා ගත නො හැකි කැපකරුවකු මෙන් ම, පුවත් පාලනයේ දැඩි විරුද්ධවාදියකුද වූ රිචඩ් ගැන මම උසස් මට්ටමකින් සලකමි. ඔහු මරා දැමීමෙන් පුවත් පාලනයේ අවසාන ක්‍රියාව කළ අයගේ අරමුණ ගැන ළතැවෙමි.”
පාසල් අවධියේ සිටම රිචඩ් සුවිශේෂී දක්ෂතා රැසක් සහිත ශිෂ්‍යයකු වූයේ ය. ඒ අවධියේ ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා එළිදුටුවේ කථික, කාව්‍ය නිර්මාණ හා රඟපෑම යන අංශ තුනෙනි. ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලය මගින් ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා පිරිනැමුණු විදුහල්පති සාහිත්‍ය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම හා ආර්න්ඩ් ත්‍යාගය යන ත්‍යාග තුන ම දිනාගැනීමට සමත් වූ එක ම ශිෂ්‍යයා වූයේ රිචඩ් ය. එමෙන් ම, ඔහු විද්‍යාලයීය සාහිත්‍ය සඟරාවේ සම සංස්කාරකවරයා ද වූයේ ය. එසේ ම, අන්තර් පාඨශාලයීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳ ම නළුවාට හිමි සම්මානය දෙවරක් ම (1973 හා 1975 වර්ෂවල දී) දිනාගැනීමට සමත් වූ එක ම ශිෂ්‍යයා වූයේ ද රිචඩ් ය. විද්‍යාලයීය විවාද කණ්ඩායමෙහි නායකයා වූ ඔහු, විද්‍යාලයේ ක්‍රියාත්මක කෙරුණු ආදර්ශ පාර්ලිමේන්තුවෙහි “නිදහස් සමාජවාදී පක්ෂයේ” නායකයා වශයෙන් ද, කතානායකවරයා වශයෙන් ද, ඇමතිවරයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මධ්‍ය ම පාන්තික සිසුනට බොහෝවිට නො පිහිටන, ලාංකේය සමාජය පිළිබඳ වෙනස් මානයක දැක්මක් ඔහු තුළ එවක පටන් ම වැඩෙමින් තිබිණ.
ඉන්පසු ඔහු බ්‍රිතාන්‍ය මණ්ඩලය සමඟ නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ගණනාවකින් ද “යුගාන්තය” හා “සත්‍යග්‍රහණය” යන සිනමා නිර්මාණවලින් ද, “යශෝරාවය” ටෙලි නාට්‍යයෙන් ද සිය රංගන කුසලතා විදහා දැක්වී ය. එමෙන් ම, ඉංග්‍රීසි පුවත්පත්කලාවේදියකු ලෙසත්, රූපවාහිනී නිවේදකයකු ලෙසත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිය භූමිකාව අනන්‍යතාවක් සහිත ව ගොඩනඟා ගැනීමට ඔහු සමත් විය. රිචඩ් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර තලයට ද ප්‍රවිෂ්ඨ විය. රෝමය මූලස්ථානය කරගනිමින් ස්ථාපිත, “ඉන්ටර් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ” ශ්‍රී ලංකාවේ හා ආසියානු කලාපයේ නියෝජිතයා වශයෙන් සේවය කළේ රිචඩ් ය. ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ රෝමයේ ඉංග්‍රීසි සේවා සංස්කාරක හා රිචඩ්ගේ මුල් ම වෘත්තීය පුහුණුකරු වූ ෆිල් හැරිස්, රිචඩ්ගේ මරණයෙන් පසු මෙසේ පවසා තිබිණි.
“ඉන්ටර් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ වැඩකරන කිසිවෙකුත් ලෝකයේ ලොකු වැටුප් ලබන්නේ නැහැ. රිචඩ් මේ ප්‍රවෘත්ති සේවයට බැඳුණේ, මේ ආයතනය තුන්වැනි ලෝකයේ ඕනෑ එපාකම් ගැන කටයුතු කරන බව ඔහු විශ්වාස කළ නිසයි.”
සැබැවින් ම රිචඩ්ට සිය ජනමාධ්‍ය වෘත්තිය වෙනස් හා පුළුල් ක්ෂේත්‍රයක දියත් කරන්නට සමාජ දේශපාලන පසුබිමක් ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි නිර්මාණය වී තිබිණි. එ.ජා.ප. ආණ්ඩුව විසින් මුදා හැරුණු රාජ්‍ය ත්‍රස්තවාදය මෙරට සමාජය බිහිසුණු තත්ත්වයකට ඇද දමා තිබිණ. අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම්, ඝාතන දස දහස් ගණනින් සිදුකෙරෙමින් පැවතිණි. රිචඩ් සිය සම්බන්ධතා සූක්ෂ්ම ලෙස යොදාගනිමින් ගවේෂණාත්මක පුවත්පත්කලාවේදියකු ලෙස එවක ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කරමින් සිටියේ ය. විශේෂයෙන් ම, මෙරට තුළ සිදුවෙමින් පැවති මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ව ඔහු තොරතුරු වාර්තා කළේ ය.
ඒ වන විට රිචඩ් “ඉන්ටර් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ” යුරෝපීය සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ තිබූ අතර, නොබෝ දිනකින් එම තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා ඔහු ලිස්බන් නගරය වෙත යාමට නියමිත ව තිබිණ. ඔහු එසේ ගියහොත්, තම රජයට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ ව ප්‍රේමදාස ජනාධිපතිවරයාටත්, ඔහුගේ සමීපතමයින්ටත් වැටහී තිබුණා නිසැක ය. රිචඩ්ගේ මාධ්‍ය භාවිතය තමන්ට හීලෑ කරගත හැකි එකක් නො වූයෙන්, රිචඩ් ඝාතනය කිරීමෙන් මෙපිට ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් ගැළවීමේ මඟක් තමන්ට නො මැති බව, ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහා ගන්නට ඇත. ඔවුහු ඉස්සර වූහ. එහි ප්‍රතිඵලය, රිචඩ් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමයි.
රිචඩ් ඝාතනය කරනු ලැබීම ජාතික හා අන්තර්ජාතික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේ ය. ඔහු ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ ව සිටීම, ඊට විශේෂයෙන් ම බලපෑවේ ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීම සම්බන්ධ ව 1990 අප්‍රේල් 23 වැනිදා TIME සඟරාවේ ලිපියක් පළවිය. වහා ම ක්‍රියාත්මක වූ ප්‍රේමදාස රජය ශ්‍රී ලංකාව තුළ TIME සඟරාව අලෙවි කිරීම තහනම් කළේ ය. එම TIME සඟරාවේ පළ වූ ලිපියෙහි මෙසේ සඳහන් විණි.
“ආණ්ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන් ම, විදේශවල මානව හිමිකම් සංවිධාන සඳහා තොරතුරු රැස්කිරීමද කළ, ද සොයිසා බලවත් තර්ජනයක් ලෙස සැලකිණි. තවත් දින කිහිපයකින් ඔහු අලුත් තනතුරක වැඩ භාරගැනීම සඳහා ලිස්බන් බලා පිටත් ව යාමට සිටි බවත්, ඔහු මරා දමනු ලැබුවේ ඊට පෙර විය හැකි බවත් ඔහුගේ මිතුරෙක් අනුමාන කරයි. එසේ ගියේ නම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වඩාත් හොඳින් ලෝක අවධානයට යොමු කිරීමට ඔහුට හැකි වනවා ඇත.”
අධිපති මතවාදයට ප්‍රතිපක්ෂ මාධ්‍ය භාවිතයක සිටි රිචඩ් ද සොයිසාගේ පරිච්ඡේදය, එවක රජය විසින් අවසන් කර දැමුණේ එලෙසිනි.
‘ඔටෝ රෙනෝ කැස්ටිලෝ’ නමැති ගෝතමාලානු කවියා විසින් ලියන ලදු ව, රිචඩ්ගේ කාර්යාලයේ මේසයට ඉහළින් වූ දැන්වීම් පුවරුවේ අලවා තිබූ, රිචඩ් ඉතා ම ප්‍රිය කළ කවියක් විණි. මෙම කවියේ රචකයා වන කැස්ටිලෝ ද මරා දමන විට, රිචඩ්ගේ වයසේ (අවුරුදු 32) පසු විය. ‘යම් දවසක පුංචි අහිංසක මිනිසෙක් මා මව්බිමේ බලවත් බුද්ධිමතුන්ගෙන් පැනයක් අසාවි’ යනුවෙන් ඇරඹෙන එම කවියේ අවසානය මෙබඳුය.
“දුප්පතුන් දුක් විඳිද්දී
ආදරය කරුණාව පිළිස්සී
සදා ජීවිත ගිනි ගනිද්දී
නුඹ කුමක් කළේ ද?”
මගේ ආදරණීය මව්බිමේ
බලවත් බුද්ධිමතුනේ,
ඔබේ දෙතොලේ පිළිතුරක්
නැති වී යනු ඇත.
ගිජු ලිහිණියකු වැනි හිස් නිහඬබවක්
ඔබ සර්වාංගයම දවා කා දමයි
දුක් ගිනි ඔබේ හදවත පසා කරයි
ඔබ නිහඬ වෙයි
ලජ්ජාවෙන් පිළිකුළෙන්
ඔබ නිහඬ වෙයි !
✍ ප්‍රභාත් චින්තක මීගොඩගේ ✍