ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් පැහැරගෙන ගොස් ඝාතනය කළ පළමුවැන්නා හෝ අන්තිමයා රිචඩ්ද සොයිසා නොවේ.
තමන් දුටු අනාගතවාදී සුබ සිහිනයක් වෙනුවෙන් අකාලයේ තම ජීවිතය දුන් තරුණ තරුණියන් බොහෝ ය.
එහෙත් ඒ දහස් සංඛ්‍යාත මිනිසුන් අතරේ හෙතෙම සුවිශේෂී මානව දයාවාදී මිනිසෙක් විය.
දේශපාලනයේ ඉහළ සිටියවුන් තව දුරටත් මඩිය තර කර ගනිද්දී, පහළ සිටියවුන් ඉහළ නඟින්නට දේශපාලනය ඉණිමඟක් කරගනිද්දී හෙතෙම තම සුවපහසු ජීවිතය අතහැර පීඩිත පංතියේ දේශපාලනය තෝරා ගත්තේ ය.
මාර්ටින් වික්‍රමසිංහගේ ‘යුගාන්තය’නවකතාව සිනමාවට එද්දී මාලින්ගේ චරිතයට පණ දෙමින් ඔහු තම සැබෑව රිදී තිරයට ප්‍රක්ෂේපණය වන්නට ඉඩ හැරියේ ය.
මරණය පෙනි පෙනී අයුක්තියට අසාධාරණයට එරෙහිව නොබියව ලීවේ ය. කතා කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ම අදින් වසර තිස් පහකට පෙරාතුව ඔහු ජීවිතයෙන් වන්දි ගෙව්වේ ය.
එහෙත් ඔහු දිවි පුදා පණ දුන් සිහිනය අද ශ්‍රී ලාංකේය මහපොළොවේ දළු දමමින් තිබේ. එදා ඔහුට මරණ වරෙන්තුව කැඳවන්නට හේතු වූ දේශපාලන ව්‍යාපාරය අද දැවැන්ත වෘක්ෂයක්ව මෙකී ධරණී තලයට සෙවණ ලබාදෙමින් ඇත.
මේ සුවිශේෂී ජයග්‍රහණයන් රිචඩ් වැනි ආදරණීය මිනිසුන් නිසාවෙනි.
රිචඩ්ගේ ඝාතනයට සාධාරණයක් ඉටු නොවුණු බව සැබෑ ය. වසර තිස් පහක් තිස්සේ හෙතෙම විවිධ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යළි යළිත් ඝාතනය කොට වළදැමීමක් සිදුවූ බවද සැබෑ ය.
එහෙත් ඔහු අන්කවරදාටවත් වඩා අද අප ඉදිරියේ සිටී. ඔහුගේ අධිෂ්ඨානය හා කැපවීම අපට මග පෙන්වමින් තිබේ. ඒ තවදුරටත් වැළලෙන්නට නොව රටක් ලෙස එක්ව නැඟී සිටින්නට ය.