සුදු නෙලුම්, රතු නෙලුම්, ඕලු, මානෙල් මෙන්ම සමහර තැනක පිච්ච, දාස්පෙතියා ආදි නේක නේක මල් විකුණා දිවි සටනට උරදෙන ළඳුන් අනුරාධපුරය, අටමස්ථානයේ ද දුලභ නොවෙති. අලුයම තුනට අවදි වී පෙර දවසේ සුදානම් කොට ගත් මල්, පහන් ආදිය ගෙන ගැහෙන සීතලේ ඔවුහු අටමස්ථානයට එති. හිරු එන්නට පෙරම මේ දිගැසියන් දවස අරඹති. විටෙක සිය කුඩා දරු සිඟිත්තන් ද සමඟ මහ මඟට එන මේ ළඳුන්ගේ කතාව අනුවේදනීය එකකි. අත මිට හිඟ කාලේ මලින් මල විකුණා කීයක් හෝ උපයා සපයා පවුලට සවියක් වීම ඔවුනගේ ඒකායන අභිලාෂයයි. අනුරාධපුරයේ, දේවානම්පියතිස්සපුර ගමේ සිට ඕලු මල් ටිකක් සමඟ මෙපරිද්දෙන් පූජා නගරයට එන “ජේ.එම්. නිරෝෂා ලක්මාලි” තිදරු මවකි. තවමත් 31 හැවිරිදි ඇය මල් හා බැඳුනු සිය ජීවන අන්දරය අප හා පවසා සිටියේ මේසේය.
“මං සාමාන්‍ය පෙළ විභාගේ පාස් වුණා. ඒත් උසස් පෙළ කරන්ඩ බැරි වුණා. දැන් ඉතිං මහත්තයාට විතරක් තනියම පවුලේ වියදම් හොයන්ඩ බැරි හින්දා මේ විදිහට ඇවිල්ලා මල් ටිකක් විකුණලා කීයක් හරි හොයාගන්ඩ බලනවා. හැමදාම එන්නේ නෑ. සති අන්තෙටයි, පෝය දවසටයි තමයි එන්නේ. සති මැද නිවාඩු දවස් ආවොත් ඒත් එනවා. අනිත් දවස්වලට මිනිස්සු එන්නේ නෑ. එන ටිකදෙනා අතරමග ඉන්න අපි ළඟ නවත්තන්නේ නෑ. සමහර දවස්වලට ගේන මල්වලින් බාගෙට බාගයක් අහක යනවා. එතකොට අතින් පාඩුයි. ඒත් කරන්ඩ දෙයක් නෑ. මේක තමයි අපිට උරුම ජීවිතේ.”
නිසල මහමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, ජේතවනාරාමය ආදි හැමෝම දන්නා සිද්ධස්ථාන හැරුණු විට තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අවශේෂ තැන් කිහිපයක් ද මුණගැසේ. අභයගිරි චෛත්‍යය, බිසෝ මාලිගාවේ සඳකඩ පහණ, කුට්ටම් පොකුණ, මිරිසවැටිය චෛත්‍යය, ලංකාරාමය ආදිය ඒ අතර වේ. සඳහිරු සෑය ද දැන් මේ අතරට එක්ව තිබේ. මේ තැන් වෙත විත් මල් විකුණමින් ගිනි ගහන අව්වට, විටෙක ඇද වැටෙන මහ වැස්සට මැදිවී ඔවුහු ජීවිත සටනේ යෙදෙති. තිදරු මවක වන “මධුෂානි ජයසූරිය” සඳහිරු සෑයට පිවිසෙන මග පසෙකට වී මල්, පහන්, හඳුන්කූරු ආදිය අළෙවි කරමින් දවසේ වියදම සෙවීමට වෙහෙසෙයි. මේ ඇගේ කතාවයි.
“උදේ පහහමාරට උඩමළුවේ පූජාව පටන් ගන්නවා. ගොඩක් අය ඒ හින්දම උදේම එනවා. ඉතිං අපිත් උදේම එනවා. හතර හමාර විතර වෙනකොට මං මෙතැනට එනවා. සමහර දවස්වලට දරුවොත් අරගෙන එන්නේ. ඒ අයත් දුක් විඳිනවා. උදේම එන්නැතිව මල් විකුණන්ඩ බෑ. මේ දවස්වල නෙලුම් මල් හොයාගන්ඩ නෑ. ඕලු, මානෙල්, දාස්පෙතිය වගේ මල් තමයි අපි අරගෙන එන්නේ. ඒ මල් හවස් වෙනකොට ඇකිළෙනවා. ඒ හින්දම දවල් එක විතර වෙනකොට අපි ආපසු යනවා. හවස හිටියට වැඩක් නෑ. ඒ වෙනකොට ඕලු මල් පරවෙලා ඉවරයි. මේ දවස්වල ඇත්තටම මල් විකුණන්ඩ වෙලා තියෙන්නේ උදේට විතරයි. ලබන අප්‍රේල් මාසේ විතර වෙනකොට තමයි ආයේ වැව්වල නෙලුම් මල් පිපෙන්නේ. නෙලුම් මල් පරවෙන්නේ නැතිව දවසක් දෙකක් තියාගන්ඩ පුළුවන්.”
ස්ථිර වෙළෙඳසලකට වී මල් විකිණීම මෙන් නොව මහමඟ මල් වෙළෙදාම කරදර සපිරි එකකි. පූජා නගරයට කිලෝ මීටර් පහළොවක් පමණ එපිටින් පිහිටි රබෑවේ සිට මෙහි එන එක්දරු මවක වන “එච්.ඒ. දිල්රුක්ෂි” උසස් පෙළ විභාගය ද හොදින් සමත්වී සිටින්නීය. ඇය පවසා සිටියේ මෙවැන්නකි.
“දැන් මේ තියෙන බඩු මිලත් එක්ක අපි වගේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ විදිහක් ඇත්තෙම නෑ. අපි පාරේ මල් විකුණනවට සමහරු කැමැති නෑ. සමහර නිලධාරි ඇවිත් කියනවා අද හෙටම අයින් වෙන්න වෙයි කියලා. අපෙන් කාටවත් කරදරයක් නෑ. උදේට වෙළෙඳාමක් කරලා අපි ඉන්න තැන අවට හොඳට පිරිසිදු කරලා යනකොට යන්නේ. සල්ලි තියෙන නම් මෙහෙම සීතලේ ගැහී ගැහී, දවල් වෙනකොට අව්වේ පිච්චී පිච්චී සමහර වෙලාවට වැස්සේ තෙමී තෙමී මෙතැනට වෙලා ඉන්නේ නෑනේ. අපිත් ජීවත් වෙන්න ඕන නේද කියන එක සමහරු හිතන්නේ නෑ.”
අටමස්ථානේ සිද්ධස්ථාන අභිමුව ස්ථිරව හෝ තාවකාලිකව ඉදිවු මඩු තුළට වී දිවි ගැටගහන්නවුන් මෙන්ම ඉන් බැහැරව තැන තැන මහමඟ රැඳෙමින් වෙළෙඳාමේ යෙදෙන මෙවැනි ළඳුන් බොහෝ වෙති. ඔවුන් සමහරෙකු සුකුමාල තරුණ අවදිය ගෙවමින් සිටී. සමහරෙකු වියපත් ජීවිතයේ සැඳෑ සමයට පිවිස දවස ගෙවති. සමහරෙකුගේ එකම ආදායම් මාර්ගය ද මෙය වෙති. දේවානම්පියතිස්සපුර ගමේ “ආර්.ජී. කුසුමලතා” ද මෙසේ හිරු එන්නට පෙරම පූජා නගරයට එන්නීය. තිදරු මවක වන ඇය මෙසේ පැවසුවාය.
“අපි කීයක් හරි හොයන් එනකන් දරුවෝ මග බලන් ඉන්නවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලේ යනවා. මහත්තයා එදිනෙදා කුලී වැඩ කරන්නේ. අපිට ගොවිතැන් කරන්ඩ කියලා ඉඩම් ඇත්තෙත් නෑ. ඇත්තටම අපේ කරදර ගැන කියලත් බෑ. නොකියත් බෑ. මොනදේ කරල හරි දරුවන්ට කන්ඩ දෙන්ඩ ඕනනේ. මේ නෙලුම් දඩු කුණුවෙන කාලේ මේ. ඒ හින්දා නෙලුම් මල් හොයාගන්ඩ අමාරුයි. පහුගිය දවස්වල කුලියට බඩඉරිඟු කඩන්ඩ ගිහිල්ලා හොයා ගත්ත සල්ලිවලින් තමයි මේ ඕලු මල් ටික අරගත්තේ. ඒකෙනුත් කොටසක් පරවෙලා ගියා.”
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිවි. ප්‍රදීප්