Wednesday, April 23, 2025
Home » මිනිසුන්-සතුන් අතර සහජීවනය නංවන ජාත්‍යන්තර මිහිකත සමුළුව

මිනිසුන්-සතුන් අතර සහජීවනය නංවන ජාත්‍යන්තර මිහිකත සමුළුව

-ආදිවාසී නායක රුව රැගත් මුද්දරයකුත් එළිදකී

by sachintha
February 19, 2025 1:42 am 0 comment

2025 ජාත්‍යන්තර මිහිකත සමුළුව ( Earth Summit) Planet Protectors සංවිධානයේ සංවිධායකත්වයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හා ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) මහියංගණය, දඹාන, කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී පැවැත්විණි.

මෙහිදී සමුළුවට සමගාමීව වන්නිලැත්තන්ගේ රුව ඇතුළත් සමරු මුද්දරයක් එළිදැක්වීම, නියෝජ්‍ය තැපැල්පති නීතිඥ ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා හා මුද්දර කාර්යාංශ අධ්‍යක්ෂ එල්.ජී.එන්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර, පරිසර අමාත්‍යවරයා විසින් එය ආදිවාසී නායකතුමා වෙත ප්‍රදානය කරනු ලැබිණි. “මිනිසුන් සහ සතුන් අතර සහජීවනය හා සමගිය ගොඩනැඟීම” යන තේමාව යටතේ වනජීවීන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ විවිධත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, සත්ත්ව – මිනිස් ගැටුම පිළිබඳව විශේෂ අවධානයක් ද යොමු කෙරේ. මූලික වශයෙන් දඹාන ආදිවාසී ප්‍රජාවගේ සහයෝගය ඇතිව සංවිධානය කළ මෙම උත්සවය මඟින් සාම්ප්‍රදායික දැනුම සහ නවීන සංරක්ෂණ පිළිවෙත් අතර සුසංයෝගය ප්‍රදර්ශනය කිරීම ද විශේෂත්වයක් විය.

මිහිකත සමුළුවේ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් උත්සව සභාව අමතමින් කියා සිටියේ, හැකිතාක් පරිසරය ආරක්ෂා කරගෙන පරිසරයට ණය නැති මිනිසකු ලෙස මියයෑමට අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු බවයි. එසේ වැඩ කළහොත් මිහිකත සමුළුව මල් ඵල දරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලැත්තෝ සභාව අමතමින් කියා සිටියේ, මවුපියන් වයසට යනවිට අප ඔවුන් ආරක්ෂා කර ගන්නවා සේ සොබාදහම වෙනුවෙන් ණය ගෙවන්න නම් අපව ජීවත් කරවූ සොබාදහමට කලගුණ සැලකිය යුතු බවයි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා උත්සව සභාව අමතමින්, නව රජයේ පරිසර අමාත්‍යංශය ලෙස පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පැවරී ඇති වගකීම අභියෝගයක් වුවත්, සියලු දෙනා සමඟ එකතු වී ඒ කාර්යයට උරදෙන බවත් කියා සිටියේය. නව රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ 3ක් පවතින අතර, ඉන් පළමුවැන්න ග්‍රාමීය දරිද්‍රතාව දුරු කිරීම බවත්, දෙවැන්න ඩිජිටල්කරණය බවත්, තුන්වැන්න “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන බවත්, ඒ යටතේ, පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ අවධානයක් හා කැපවීමක් කරන බවත් කියා සිටියේය.

ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, මිහිකත සමුළුවේ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, පරිසර විශේෂඥ සම්මානනීය මහාචාර්ය සරත් කොටගම, ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලැත්තෝ, එක්සත් රාජධානියේ ගෝලීය තිරසාර උපදේශක තිරසර සංරක්ෂණ පිළිවෙත් සඳහා ජාත්‍යන්තර ප්‍රවීණ මහාචාර්ය පෝල් මැන්සෙල්, සමුද්‍ර ජීව විශේෂඥ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ආදී විද්වතුන්ගේ දේශන රැසක් මෙම අවස්ථාවට ඇතුළත්ව තිබිණි. මහා සංඝරත්නය, ආදිවාසීන් විශාල පිරිසක්, පරිසරවේදීන් හා සංවිධාන රැසක්, ප්‍රධාන පාසල්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාපාකඩවැව සමූහ – එච්.එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT