පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් රටින් පැන්න ගල්කිස්ස පොලීසියේ සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරයා විසින් පාතාලයේ පරිහරණය සඳහා ලබාදී තිබුණු පොලීසියේ ටී 56 අවිය සොයා ගැනීමට ගල්කිස්ස පොලීසිය පෙරේදා (17) සමත්ව ඇත.
ගල්කිස්ස හුලුදාගොඩ පාරේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි සූපවේදියෙක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ගිනි අවිය සොයා ගැනීමට හැකිවී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
නිල පොලිස් තොරතුරුවල සඳහන්ව ඇති ආකාරයට අනුව ගිනි අවිය සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිෙවස පිටුපස පාළු ඉඩමක සඟවා තිබියදීය.
අත්අඩංගුවටගත් සැකකරු විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඉහළගමගේ දර්ශන නොහොත් අයි.ඩී. නමැත්තාගේ ගෝලයෙක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සූපවේදියා පවසා ඇත්තේ අයි.ඩී. නමැත්තා විසින් දුරකතන ඇමතුමක් දෙමින් ගල්කිස්ස බඩෝවිට බටපඳුර ප්‍රදේශයට යන ලෙස තමාට පසුගිය 08 වෙනිදා දැනුම්දුන් බවය. ඒ අනුව එම ස්ථානයට ගිය තමාට ගිනිඅවිය සඟවා ඇති ස්ථානයක් දැනුම්දුන් බවත් එම ස්ථානයෙන් ගිනි අවිය රැගෙන තමා නිෙවසට ගොස් සඟවා තබාගත් බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන්කර තිබේ.
ගිනිඅවිය සැඟවීමෙන් පසු බියට පත්වූ සැකකරු දින ගණනාවක්ම රටවටේ සැරිසරමින් සිට ඇත. ඔහු පසුගිය දිනක සීගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක ද නවාතැන් ගෙන සිට ඇත. එහිදී පොලිස් කණ්ඩායමක් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
අයි.ඩී. නමැති පාතාලයේ අපරාධකරු ප්‍රංශයේ මේ වන විට දේශපාලන රැකවරණය මත රැඳී සිටින ගොනාකෝවිලේ අංජු නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ හිටපු ගෝලයෙකි. අංජුගේ කල්ලියෙන් කැඩී බඩෝවිට අසංක, සයිමා ආදි පාතාලයේ අපරාධකරුවන් සමඟ වෙනම පාතාල කණ්ඩායමක් බිහිකර ඇති අයි.ඩී. නමැති පුද්ගලයා ඩුබායිහි රැඳී සිටිමින් ගල්කිස්ස හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින බව බුද්ධි තොරතුරු සඳහන් කරයි. සිය රාජකාරි ගිනිඅවිය පාතාලයට දී පසුගිය 08 දා රටින් පැන්න ගල්කිස්ස පොලීසියේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල් ජයකොඩි නමැති නිලධාරියා මෙම පාතාල කල්ලිය සමඟ සම්බන්ධකම් ගොඩනඟාගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව කලක් සේවයේ නිරතව සිටියදී බව පෙනී ගොස් ඇත. මෙම නිලධාරියා පාතාල අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් මත්කුඩු ජාවාරමටද සම්බන්ධව සිට ඇති බවට සැකයන්ද මේ වන විට ඇතිවී ඇත.
රටින් පැන්න පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය ජාල පරීක්ෂාවකට ලක්කරන විට ඔහු ඇසුරුකළ අය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ගිනි අවිය සොයා ගැනීමට මග පෑදෙන සූපවේදියාව කොටුකර ගැනීමට හැකිවන්නේද දුරකතන විශ්ලේෂණයේදී හෙළිවූ තොරතුරු මතයැයිද එම නිලධාරියා පැවසීය.
අත්අඩංගුවටගත් සූපවේදියාව රඳවා ගැනීමේ නියෝගමත රඳවාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගල්කිස්ස බඩෝවිට බටපඳුර ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී. ටී 56 ගිනි අවිය සමඟ පතොරම් ගැබත් පතොරම් 30ත් තිබී ඇත.
ගයාන් කුමාර වීරසිංහ