Wednesday, April 23, 2025
Home » ගිනි අවි 18ක් ඇතුළු පතොරම් රැසක් අත්අඩංගුවට

ගිනි අවි 18ක් ඇතුළු පතොරම් රැසක් අත්අඩංගුවට

by sachintha
February 19, 2025 1:30 am 0 comment

ගිනි අවි 18ක් ඇතුළු පතොරම් රැසක් ඊයේ (18) අලුයම 6.00න් අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය, කළුතර අපරාධ කොට්ඨාසය, ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානය, ගිරානේගම පොලිස් ස්ථානය, මාමඩුව පොලිස් ස්ථානය ඕමන්ත පොලිස් ස්ථානය සහ දඹගල්ල පොලිස් ස්ථානය මඟින් මෙම ගිනි අවි සොයාගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අහුංගල්ලේ පදිංචිකරුවෙක් වැලිපැන්නේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් 14ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයකට සූදානමින් සිටියදීය. මෙම සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3560ක්ද සොයාගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ නි‍ෙවසක් සෝදිසිකර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි රැසක් සමගිනි. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන පතොරම් 47ක්, බෝර 12 වර්ගයේ ගිනි අවියට යොදන පතොරම් 20ක් හිස් මැගසින් 02ක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 02ක් ඒ අතර තිබී ඇත.

ඌරගස්මන්හන්දිය පොලීසියේ නිලධාරීන් ඌරගහ කොටකිරල ප්‍රදේශයේ කළ වැටලීමකදී 35 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි කිහිපයක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2500ක් සමගිනි. බෝර 12 වර්ගයේ ගිනි අවියක්, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක්, ටී 56 වර්ගයේ පතොරම් 06ක්, ඇතුළු විවිධ වර්ගයේ පතොරම් රැසක් සොයාගත් දෑ අතර තිබී ඇත.

මාමඩුව, ඕමන්ත යන පොලිස් ස්ථාන මගින් මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දඹගල්ල පොලීසිය මගින්ද මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ගිරානේගම පොලීසිය මගින් කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙක් දේවහූව සහ දඹුලුහල්මිල්ලවැව දී අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවි 05ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමගිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT