Home » හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර-පුතා අත්අඩංගුවට
එකලස් කළ වාහනයක් පරිහරණය කළැයි චෝදනා

හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර-පුතා අත්අඩංගුවට

by sachintha
February 19, 2025 1:15 am 0 comment

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක ලියාපදිංචි අංකයෙන් කොටස් එකලස්කර සකස් කළ එම වර්ගයේම ජීප් රථයක් ව්‍යාජ අංක තහඩු යොදා පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මන්ත්‍රීවරයා අවුරුදු 63ක් වයසැති බවත් පුතා අවුරුදු 31ක් වන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ජීප් රථයේ හිමිකරු ලෙස පෙනී සිට ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා බවත් එම රථය පුතා විසින් පරිහරණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

කොටස් එකලස් කර නීති විරෝධී ලෙස සකස් කර ඇති වාහන සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මාස තුනකට පමණ පෙර මෙම වාහනය කොටස් කිහිපයකට වෙන්කර මන්ත්‍රීවරයාට අයත් බව කියන පුත්තලමේ පිහිටි පොල්වත්තක සඟවා තිබී ඇත. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය (05) පුත්තලමට ගොස් එම වාහනයේ කොටස් සිය භාරයට ගෙන තිබේ. වාහනයේ චැසිය සහ බඳ කොටස පොල්වත්තේ සිට මීටර් 400ක් පමණ වූ ස්ථානයක පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නි‍ෙවසක සඟවා තිබියදීත් එන්ජිම ඇතුළු කොටස් කිහිපයක් පොල්වත්තේ ස්ථානයකත් සඟවා තිබියදී සොයාගෙන ඇත. චැසිය හා බඳ කොටස එම ස්ථානයට රැගෙනවිත් සඟවා ඇත්තේ ඊට දින තුනකට පමණ පෙර බවද අනාවරණය විය.

ඒ වන විට වාහනයේ අංක තහඩුව තිබී නැත. මෙම වාහනය පැදවූ ව්‍යාජ අංක තහඩුවට අදාළ සැබෑ වාහනය කෘෂි කර්ම අමාත්‍යාංශයේ තවමත් ඇති බවත් එම වාහනයේ ලියාපදිංචි තොරතුරු ඇතුළත් කර ව්‍යාජ පොතක් පවා සකස් කර තිබී ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම වාහනය වසර දෙක තුනක් තිස්සේ ශාන්ත අබේසේකර මහතා පරිහරණය කර ඇති බවට තොරතුරු ඇති බවද එම නිලධාරියා කීය.

කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු යෙදූ මෙම වාහනය 2009 වසරේදී ගාල්ලේ පුද්ගලයකුගේ නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබී ඇත. මේ වන විට ගාල්ලේ ලියාපදිංචි හිමිකරු මියගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය ඔවුන් සතුව ඇති ජීප් රථය වෙන්දේසි කිරීමට යාමේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇත්තේ මෙම වාහනයේ ලියාපදිංචි අංකයට සමාන තවත් වාහනයක් ඇති බවය. ඒ හේතුව මත කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාහනය වෙන්දේසි කිරීමට නොහැකි වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ව්‍යාජ වාහනයේ ලියාපදිංචි හිමිකරු මියගොස් සිටි බැවින් වාහනය ගැන නිසි තොරතුරක් මුල් අවස්ථාවේදී සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව මෙම වාහනයට රක්ෂණ සහතිකයක් ගෙන තිබේ දැයි රක්ෂණ සමාගම් ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 2018 වසරේදී පුත්තලමේ පුද්ගලයකු විසින් වාහනය රක්ෂණය කර ඇති බවය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයාව හඳුනාගෙන ඇත. එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේ ඔහු එම වාහනය තවත් පුද්ගලයකුට අලෙවි කර ඇති බවය. හිටපු මන්ත්‍රීවරයා අතට මෙම වාහනය පත්ව ඇත්තේ එම පුද්ගලයා මඟිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඉකුත් 06 වෙනිදා අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඔහුට ඇප නියමවී තිබුණි.

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගෙවීගිය කාලය තුළ නීති විරෝධීව එකලස් කර මාර්ගයේ ධාවනයට යොදා තිබුණු සුඛෝපභෝගී වාහන 21ක් සිය භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ අධීක්ෂණයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී පොලිස් අධිකාරී කමල් පලිස්කාර මහතාගේ මෙහෙයැවීමෙන් සහකාර පොලිස් අධිකාරී රුවන් කාන්ත මහතාගේ මඟ පෙන්වීම මත විමර්ශන ඒකක 05 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඒ. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදු කරනු ලබන්නේ උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක මහතාගේ නායකත්වයෙන් උප පොලිස් පරීක්ෂක සනත් එදිරිසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන තෙන්නකෝන් (94984), ජයරත්න (97501), ඒකනායක (104842) සහ පොලිස් කොස්තාපල් රියැදුරු මධුවන්ත (103069) යන නිලධාරීන්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT