Home » බලවත් මිනිසුන් පමණක් රකින නීතියකට මේ රටේ ඉඩ නෑ

බලවත් මිනිසුන් පමණක් රකින නීතියකට මේ රටේ ඉඩ නෑ

-අගමැතිනිය මුලතිව්හිදී කියයි

by sachintha
February 19, 2025 2:37 am 0 comment

නීතිය අතට ගෙන බලවත් මිනිස්සු පමණක් රකින නීතියකට ඉඩක් නැති බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසූවාය. මුලතිව් නගර ශාලාවේ පසුගියදා (16) පැවැති ජනහමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.

එළැඹෙන වසරේ සිට දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම අලුත් කරමින් ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබා දෙමින් දරුවන්ට සතුටින් ඉගෙනීමට හැකි පාසල් පද්ධතියක් ගොඩනැඟීමට උත්සාහ කරන බවද අගමැතිනිය පැවසුවාය.

මේ රට වෙනස් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයැයි වත්මන් ආණ්ඩුව තදින්ම විශ්වාස කරන බව පැවසූ අගමැතිනිය, ආණ්ඩුව සහ පුරවැසියා එක් වූ විට ඒ වෙනස්කම් හැකි ඉක්මනින් ළඟා කරගත හැකි බවත් පැවැසුවාය.

අගමැතිනිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

අපි ඇවිත් ඉන්නේ ඔබ දුන් ජනවරමත් එක්ක. අපට එකඟතාව තිබෙන්නෙ ඔබත් එක්ක. සියලුදෙනාට සමානාත්මතාව තිබෙන සියලුදෙනා පිළිගන්නා සියලු දෙනාට ආරක්ෂිතව ජීවත් විය හැකි රටක් අපි එකතුවෙලා හදමු. එකතු වුණාම අපි ශක්තිමත්. කාටවත් අපිව බෙදන්න බෑ. ඔබ මේ රටේ විශාල වෙනසක් කළා. ඒ වෙනස වෙන පැත්තකට ගෙනියන්න අපි ඉඩදෙන්නේ නෑ. ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්නේ නෑ. මෙතෙක් කල් මේ රටේ සංවර්ධනය හැම ප්‍රදේශයකම එකම විදිහට වෙලා නෑ. අපි රටම කේන්ද්‍ර කරගත් සංවර්ධන ක්‍රමයක් සැලසුම් කරමින් යනවා යැයිද පැවසීය.

අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙන්ම ළමයි 300ට අඩුවෙන් සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000ක වවුචරයක් පාසල් උපකරණ මිලදී ගන්න අපි දී තිබෙනවා.

2026 අපි නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. පාසල් අධ්‍යාපනය අවසන් කර සමාජයට යන දරුවාට තමන්ගේ අනාගත ගමන්මඟ සකස් වෙලා තිබෙන්න ඕනෑ. අපි දන්නවා මේක කරන්න ලේසි නෑ. අපි තෝරගෙන තිබෙන මාර්ගයත් ලේසි නෑ. හැබැයි අපි කොහොම හරි මේක කරන්න ඕනෑ. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඒ බලාපොරොත්තුව අපි රකිනවා.

සියලු දෙනාටම ලස්සන ජීවිතයක් ලබාදීම වෙනුවෙන් රට ගොඩනැඟීමේ ක්‍රියාවලියට සියලු දෙනාම එකතු වන ලෙස ඉල්ලා සිටිනවා යැයිද පැවසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT