Sunday, April 20, 2025
Home » දැවැන්ත ආයෝජනයකට මූලාරම්භය දෙන අය-වැයක්

දැවැන්ත ආයෝජනයකට මූලාරම්භය දෙන අය-වැයක්

-රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එන්.එච්. අබයරත්න

by sachintha
February 19, 2025 3:00 am 0 comment

අපි භාර ගත්තේ හිස්වූ භාණ්ඩාගාරයක්

ප්‍රතිලාභ විධිමත්ව කළමනාකරණය කිරීම හොඳම ක්‍රමයයි

ඉතාම විනිවිදභාවයකින් කටයුතු කිරීම අපේ අරමුණයි

උපරිම සහන දීලයි තියෙන්නේ

මෙවර අය – වැයෙන් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රතිපාදන වෙන්ව ඇති ආකාරයත්, අනාගතයේ දැවැන්ත ආයෝජනයකට මේ අය – වැයෙන් මූලාරම්භය ගෙන ඇති ආකාරයත් පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති, ආචාර්ය ඒ.එච්.එන්.එච්. අබයරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

 

ජාතික ජන බලවේගයේ මංගල අය – වැය යෝජනාවලිය ගැන පවතින පොදු මතය කුමක්ද ?

අපේ රට ආර්ථික වශයෙන් ඉතාම පහළ මට්ටමකට වැටී තිබුණා. ඒ වැටුණු තැන ඉඳලා නඟාසිටුවීමට අනාගතවාදී දැක්මක් සහිතව මේ අය – වැය ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් වෙනවා. එහිදී සමාජ ආරක්ෂණය, අස්වැසුම ප්‍රතිලාභ ඉහළ නැංවීම, වකුගඩු රෝගීන්, ආබාධිත, වැඩිහිටි දීමනා වැඩි කිරීම, තිරසර වෙනසකට අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීම වගේ විවිධ අංශවලට විශාල ලෙස මුදල් වෙන් කර තියෙනවා. ඒ වගේමයි කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වාගෙනයෑම, භෝග නිෂ්පාදනය වැඩි කිරීම, නිෂ්පාදන කටයුතු සඳහා ඉඩම් යොදා ගැනීම, තරුණ ව්‍යවසායකයන් සහ නිෂ්පාදක සමුපකාර ඇති කිරීම, කිරි නිෂ්පාදනය, තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය, වාරිමාර්ග අංශයේ සංවර්ධනය ආදිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා අපි විශාල වශයෙන් මුදල් වෙන් කර තියෙනවා. ප්‍රධාන වැඩසටහනක් හැටියට රජය ක්‍රියාත්මක කරන ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහනට අනුකූල වන විදියට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තියෙනවා.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. මෙහිදී නිරෝගී සමාජයක් වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය, ග්‍රාමීය මට්ටමේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, වතු ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය, ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ට සෞඛ්‍ය ප්‍රතිකාර දීම උදෙසා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සැමට අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් පෙර පාසල් ළමයින්ගේ පෝෂණය, පාසල් අධ්‍යාපනය නව්‍යකරණය කිරීම, ශිෂ්‍යාධාර, උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය, ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම, යාපනය සහ අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල වැඩිදියුණු කිරීම ආදියෙහි දියුණුව වෙනුවෙනුත් මුදල් වෙන් කර තිබෙනවා. ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයට අවශ්‍ය කරන දීමනා ලබාදීම සඳහා සැලකිය යුතු පරිශ්‍රමයක් මේ අය – වැය තුළ අපි දරලා තියෙනවා. මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට දැරූ ප්‍රයත්නය, වැටුප් වැඩි කිරීම සඳහා තබන ලද පියවර පිළිබඳව අපි සෑහීමකට පත්වෙනවා. ඒක ජනතාව ඉල්ලා සිටි දෙයක්.

උතුරු පළාතේ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල වෙනත් යටිතල පහසුකම් නඟාසිටුවීම සඳහා පියවර ගෙන තිබෙනවා. බදු අලුතින් වැඩි කරන්නෙත් නැතිව ජනතාවට සහන දුන් අය – වැයක් හැටියට මේ අය – වැය හඳුන්වන්න පුළුවන්.

සියලු කණ්ඩායම්වලට ඒ කියන්නේ වෛද්‍යවරයාගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ සිට ගොවියා, ධීවරයා දක්වාම සහන ලබාදීම සඳහා මේ අය – වැය ඉදිරිපත් කර තියෙනවා. මේ අය – වැයේ ප්‍රතිඵල අපට දකින්න ලැබෙන්නේ මේ වෙන්කර තියෙන මුදල් උපයෝගී කරගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු සිද්ධ කළාට පසුවයි. ඒ නිසා අපි හිතනවා, බිඳ වැටී තිබූ ආර්ථිකය නඟාසිටුවීම සඳහා අවශ්‍ය කරන මූලික පදනම මේ අය – වැයෙන් ඉදිරිපත් කර තියෙනවා කියලා. එහි ඉදිරි පියවර අපට දකින්න වෙන්නෙ අනාගතයේදී.

උපාධිධාරීන් තිස් දහසකට රැකියා දීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. 2020, 2021 වගේ කාලයෙන් පසුව උපාධිධාරීන්ට රැකියා දුන්නේ නෑ. එනිසා මේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ මේ අය – වැය ඇතුළෙ තියෙනවා. එනිසා සියලු ක්ෂේත්‍ර ආවරණය වන විදියට නිෂ්පාදනයත් වැඩි කරගෙන, කර්මාන්තත් වැඩිදියුණු කරගෙන දැවැන්ත ආයෝජනයක් කිරීම සඳහා වෙන් කළ අය – වැයක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්.

රාජ්‍ය සේවයේ ඉතිහාසගත වැටුප් වැඩිවීමක් මෙවර අය – වැයෙන් සිදුවූවා කිව්වට සිතූ තරම් වැටුප් වැඩි නොවූ බව ඇතැම් රාජ්‍ය සේවකයන් පවසනවා. ඒ ගැන කිවහැක්කේ කුමක්ද?

වැටුප් වැඩි කළ ප්‍රමාණය පිළිබඳව විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපට තීරණයක් ගන්න වෙන්නෙ ඔවුන්ටත් යම් සහනයක් සලසමින් මේ ආර්ථිකය වැටෙන්නේ නැතිව, රට වැටෙන්නේ නැතිව පවත්වාගෙනයෑමටයි. රට වැටෙන්නේ නැතිව පවත්වාගෙන යමින් දිය හැකි උපරිම සහන දෙන්න තමා අපි කටයුතු කර තියෙන්නෙ. එනිසා ඇතැමුන් සෑහීමට පත්නොවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ ලැබෙන දෙය ටිකක් මදි කියලා හිතන්න. එහි යම් සාධාරණයකුත් ති‍ෙයනවා වෙන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපි ජනතාවට යම් සහනයක් දෙනවා. එය ඔවුන් අපේක්ෂා නොකළ එකක් වෙන්න පුළුවන්. නමුත් රටේ අනාගතය ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන අනෙක් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් මුදල් වෙන් කරන්න ඕනෑ. රාජ්‍ය සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ, වතු අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පමණ නම් කරන්න තිබුණේ අපට මීට වඩා ගොඩක් දේවල් කරන්න තිබුණා. අපි ඒවත් කරන අතර තව සංවර්ධන වැඩ රාශියක් කරමින් ඒ සියල්ලම සමතුලිත කරගෙන යම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කර තියෙනවා. ඒක ප්‍රමාණවත් නොවෙනවා නම් ඉදිරියේදීත් ඒවා වැඩි කර ගන්න අවස්ථාව තියෙනවා.

මේ සියල්ල ගැනම සලකා බලන්න වෙන්නේ අපේ ආර්ථිකය වැටිලා තිබුණු ස්ථානයේ ඉඳලා. හොඳ ශක්තිමත් භාණ්ඩාගාරයක් තිබුණා නම් මේ කියන චෝදනා ඔක්කොම භාර ගන්න තිබුණා. හැබැයි අපි භාර ගත්තේ හිස්වූ භාණ්ඩාගාරයක්. එනිසා මහජන මුදල් ඉතාම අරපිරිමැස්මෙන් භාවිත කරලා, රජයේ වියදම් සැලකිය යුතු මට්ටමකින් අඩු කරලා තමා මේ සහන දුන්නෙ. මීට වඩා සහන දෙන්න පුළුවන් නම් හොඳයි. එයට අපි අකැමැති නෑ. නමුත් මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ලබා දිය හැකි උපරිම සහන තමා මේ අය – වැයෙන් දී තියෙන්නෙ.

රාජ්‍ය ආයතන විධිමත් සහ කාර්යක්ෂම කිරීමට අවධානය යොමු කර තියෙන්නේ කොහොමද ?

වසර ගණනාවක් ශ්‍රී ලාංකේය රාජ්‍ය යන්ත්‍රණය පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙය රාජ්‍ය නාස්තියට මෙන්ම රාජ්‍ය සේවාව ඵලදායී ලෙස සැපයීමට විශාල බාධාවක් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එක කාර්යය දෙවරක් කිරීම රාජ්‍ය සේවාවේ ඵලදායීතාවට බාධාවක්. මේ තත්ත්වය මඟහරවා ගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රධාන වැඩපිළිවෙළ විදියට ඩිජිටල්කරණය හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම රජය සතු ව්‍යවසායන්හි ආයතනික පාලනය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී රජය සතු ව්‍යවසායන් හේතුවෙන් පැනනඟින අනාගත මූල්‍ය අවදානම අවම කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන්හි ආයතනික පාලනය වැඩිදියුණු කළ යුතුයි. මේ සඳහා පාලනය, මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් තෝරා ගත් රාජ්‍ය ව්‍යවසායන් පරිපාලිතයන් ලෙස පවත්වාගෙන රාජ්‍ය හිමිකාරීත්වය සහ පාලනය ඇති පරිපාලන සමාගමක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කර ඒ වෙනුවෙන් ද මුදලක් වෙන් කර තියෙනවා. එය ඇත්තටම රාජ්‍ය ආයතන විධිමත් කිරීම, වඩා හොඳින් පවත්වාගෙනයෑම, ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදීම ආදිය සඳහා තමයි ඉදිරිපත් කර තියෙන්නෙ. එහි ක්‍රියාකාරකම් ඉදිරියේදී දැක ගැනීමට පුළුවන්. ඒ ඔස්සේ වඩාත් කඩිනම්, ඵලදායී, කාර්යක්ෂම ලෙස මේ රාජ්‍ය ආයතන කටයුතු කරනවා ඔබට දකින්න පුළුවන්.

රාජ්‍ය වියදම් කළමනාකරණය වෙනුවෙන් සිදුව ඇති යෝජනා මොනවාද ?

රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරනවා. මහජන නියෝජිතයන්ට ලබා දෙන දීමනා සහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතිය සමාලෝචනය කරනවා. වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය පැත්තෙන් ආදර්ශයක් දීමට ඇමැති මණ්ඩලය ඇමැතිවරුන් 21 දෙනකුට සීමා කළා. රාජ්‍ය වියදම් අඩු කරමින් ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වියදම් තාර්කීකරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරුන් වෙනුවෙන් වෙන් කරන ලද මන්දිර වැනි පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොමු කර තිබෙනව‍ා. එවැනි දේපළ ශක්‍යතාවක් ඇති ව්‍යාපෘති සඳහාත්, මහජන අවශ්‍යතා සඳහාත් උපරිම ලෙස භාවිත වෙනවා. අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදු වන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනවා. මේ යටතේ වාහන සඳහා රජයේ වියදම අවම කිරීම, රාජ්‍ය ආයතන විධිමත් සහ කාර්යක්ෂම කිරීම සිදු වෙනවා. වියදම් කළමනාකරණය යටතේ ප්‍රමුඛතාව හඳුනාගෙන අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට තමයි වැඩිපුර ප්‍රතිපාදන වෙන් කර තියෙන්නෙ. එහිදී ඉතාම හොඳ කළමනාකාරීත්වයකින්, අවශ්‍ය තැන්වලදී විගණන කටයුතුවලට ඉඩකඩ සලසා දෙමින් ඉතාම විනිවිදභාවයකින් යුක්තව මේ කටයුතු සිදු කිරීම අපේ අරමුණයි. අපි හිතනවා, මෙතෙක් කල් අය-වැයවලින් ප්‍රතිපාදන වෙන් කර තිබුණට ඒවා හරියට කළමනාකරණය වුණා ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මේ වෙන් කළ මුදල් මේ අවුරුද්ද ඇතුළෙ වියදම් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලැබෙන විදියට කටයුතු කිරීමට අපි පියවර ගන්නවා. මම හිතන්නේ ඒක තමා අපට විධිමත්ව මේ කළමනාකරණය කරන්න තියෙන හොඳම ක්‍රමය.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT