කුඹුක් ගහ යට අද කොල්ලො අඩුයි. සෙනසුරාදාට මෙහෙම තමයි. සමහර කොම්පැනි නිවාඩුයි. තවත් සමහරක් වැඩ වරුවයි. බියගම කලාප වට රවුමට නෑවිත් සමහරු සති අන්තයේ ගමේම අත් වැඩක් හොයා ගන්නවා. අද පාන්දර එක වෑන් එකක් ගියා කියලා ආරංචියි. එයින් පස්සේ නැවක් ඇවිත් නෑ. පොඩි බෝට්ටු සැරින් සැරේ ඇවිත් එකා දෙන්නා දාගෙන ගිහින්. කොල්ලෝ, කතාවට කියන්නේ එහෙමයි. එහෙව් කෝඩයක් එක්ක, උදේ අටහමාරත් පහු වෙලා, දවස් පඩි වැඩකට කවුරුහරි ඇවිදින් කතා කරනකල් මහපාර දිහෑ බලාගෙන ඉඳිද්දියි පෙජරෝ එකක ලොක්කෙක් ඇවිදින් අපේ දිහෑට කර පෙව්වේ. ‘කෝ අර දැල් දැල් වගේ සෙරෙප්පු දෙකක් දාගෙන වෙනදාට එන එක්කෙනා…’
ඉතින්, එහෙම තියෙනවා. සමහර මහත්තුරුන්ව අල්ලා ගත්ත කට්ටිය ඉන්නවා. එක්කෝ දැන හැඳුනුම්කමට. නැතිනම් අනිත් එවුන් ඉල්ලනවාට වඩා අඩු දවස් පඩියට වැඩට ගිහින්, අන්තිමේදී ඒ අඩු ගාණටම එන කෙනාවමයි සමහර මහත්තුරුත් හැමදාම හොයන්නේ.
හැබැයි අද ලොක්කාට එයා හොයන කොල්ලා නැහැ කියලා තේරුණා.
‘මේ මේ, ඒ පාර තව කීප දෙනෙක් ඉන්දැද්දී මිනිහා දැන් මට කතා කරනවා. ඒක දැකලා මා ළඟ හිටිය, වැඩක් එනකල් මඟ බලන තලතුනා මනුස්සයා කිවුවේ මෙහෙමයි.
‘ඕකා ගර්ථයා, කුණු කොල්ලෙට කොල්ලො මඩවන්නයි බලන්නේ. අපි දන්න හින්දා අපිට කතා කරන්නේ නෑ. අලුත් එවුන් හොයන්නේ ඒකයි…’
සුදු මහත උඩු රැවුල්කාර ඒ මහත්තයා දැන් මා ළඟ. ‘මං හැමදාම මෙතැනින් කට්ටිය අරන් යන්නේ. මගේ ලී ටිකක් ලොරියට පටවන්නයි තියෙන්නේ. ලී මඩුවට යන්න කලින් ගෙදරට ගිහින් එන්න තියෙනවා මට පුතා පන්ති දාන්න. ඊට පස්සේ වැඩේට යමු. මොකද කියන්නේ, මං වැඩේ හැටියට බලලා හවසට පඩි දෙන්නේ. වැඩි වැඩක් කරන්න නැහැ. ඕඩර් එකක් ආවොත් ලී පටවන්න තියෙන්නේ. නැතිනම් ලී මඩුවේ ගෝලයට ඉන්නයි තියෙන්නේ හවස් වෙනකල්. එක්දාස් එකසීයක් විතර හවසට දෙන්න පුළුවන්.’
කතාව එහෙම වුණාට කෙරුවාව කොහොම වෙයිද දන්නෑ? පෙජරෝවට ගොඩවෙලා පස්සෙන් අසුන් ගත්තාට හිතේ තිබුණේ මේ මිනිහා ගැන දවස් පඩි වැඩට යන අනිත් කට්ටිය කියන කතා වලට. ඒ, මටත් පරිප්පුවක් කන්න වෙයිද කියන බයට.
අර කිවුවා වගේ, පුතාවත් පන්ති ඇරලවා, ටික දුරක් අතුරු පාරක ගිහින් ඒ මහත්තයාගේ ගේ දොරකඩ නැවතුණා. එයා බැහැලා ගෙට ගියත් මං තාම ගේට්ටුව ළඟ. ටිකකින් මෙයා එන්නේ අඩුවක් එහෙමත් අරගෙන.
‘මේ මල්ලී, එමුකෝ පොඩ්ඩක් එහා ගෙදර නෝනාට පොඩි අවුලක්…’
ආවේ ලී පැටවිල්ලකට දැන් එන්නේ වෙන එකකට. එතැනට ගිහින් බැලින්නම් ඒ ගෙදර ගේට්ටුව පීලි පැනලා. ඒක උස්සලා පීල්ලට දාන, බරම වැඩේ කරන්න වුණේ මට. කොන්දත් මොකද්ද වුණා වගේ, මිනිහා ලොක්කා වගේ අත් බැඳන් බලා හිටියා. අන්තිමේදී ඒ ගෙදර නෝනා නොසෑහෙන්න ස්තුති කළෙත් මිනිහාට. ඒ කොහොම වුණත් ඊළඟට මහත්තයා දුන්න කහට කෝප්පයත් බීලා, පැජරෝවට නැඟ්ගේ ලී මඩුවට යන්නයි. ටික වෙලාවකින් බඩු ඕඩර් කළ ලොරියක් ආවේ, ලී කොටන් ටිකක් පටවන් යන්නයි. අලවංගු එහෙම දාලා බර අඩු කර ගන්න ලෙහෙසි ක්‍රම තිබුණත් ඒ මොනවා වත් නෑ. ඒ වැඩෙත් අමාරු, බර ටික අදින කොටයි, මේ මිනිහා ගැන අනිත් දවස් පඩි වැඩ හොයන කොල්ලෝ කියන්නේ ඇත්තනේ කියලා හිතුණේ. ඉන්පස්සේ ලී මඩුව අස්කරන්නයි පැවරුණේ. දූවිලි නිමක් නැහැ. නහය යන්තම් බැඳගෙන ඒ සේරෝම ඉවර කරද්දී හොඳ පණ ගිහින්. හෝදන්න පැවරිච්ච බර කාපට් එක හත් අවුරුද්දකින් නොසේදූ එනක්. ඒත් නිකං හිටියොත් මුකුත්ම නැහැනේ, ඒ බව හිත හිතා කියන කියන වැඩ කළා.
ඒත් ලී මඩුවේ දවසේ ඉතිරි පැය හතර, පහ ඉන්න ලැබෙයි කියලා හිතුවාට ඒක එහෙම වුණේ නැහැ. ටික වෙලාවකින් මහත්තයා ලී මඩුවේ ගේට්ටුව වැහැව්වේ අදට වැඩ ඉවර කරන්න වගේ. ‘අපි යාඩ් එකට යං. එතැන ලී ටිකක් එක තැනකට ගොඩගහ ගන්න තියෙනවා.’ මේ ගමන එච්චර ඇල්ලුවේ නැතත්, මට බැහැයි කියන්නත් බැහැනේ. දවසම වැඩ කළොත් තමයි පඩියක් ලැබෙන්නේත්. හැබැයි, අදින් පස්සේ මේ මිනිහා වැඩට කතා කළාට එන්නේ නම් නැහැ කියලා හිතාගෙනයි දැන් මිනිහා එක්ක මං යාඩ් එකටත් යන්නේ. ඒ ගහක් කොළක් නැති කාන්තාරයක් වගේ ඉඩමක්. මෙතැනත් ලී කඳන් තැන තැන ගොඩ ගහලා. අල්ලමු, අල්ලමු කියද්දී තඩි කොටන් මිනිහත් එක්ක කරට කර ඉස්සුවේ පුළුවන්කමකට නෙවෙයි, බැහැයි කියන්න බැරි කමට. බර මදිවට රාස්සිගෙ අව්ව. වතුර පයිප්පයක්වත් නෑ. මගේ මල්ලේ වතුර බෝතලෙත් ඉවරයි. ඔය සේරෝම කාගෙන, ලී ටික ඇදලා ඉවර කරලා පොඩ්ඩක් හෙවණක් හොයන් පාරට ගිහින් ටිකක් ඉඳගෙනවත් ඉන්නවා කියලායි හිතුවේ. ඒත් කොහෙද එහෙම දෙයක්වත්. එකක් ඉවර වෙද්දී තව එකක්, අන්තිමේදී කැලෑ වැදිලා තිබිච්ච පැත්තක් උදලු ගාන්නත් කියපි. ඒ ගැම්මට ඒ වැඩේ අමාරු වුණේ, ඉර අව්වේ සැරකමට. ක්ලාන්ත ගතියකුත් දැනෙනවා. බැරිම තැනයි ගේට්ටුව ළඟට ගිහින් පොල් ගහක් යට හෙවණකට වුණේ. එතැන ඉඳ ගැන්වුණෙත් අමාරු වැඩිකමට.
බිම ඉඳගෙන, මිනිත්තු දෙකක් ගියේ නැහැ.
කූල් එකේ හිටිය මහත්තයා ‘ඇයි, ඔයාට වැඩ කරන්න බැරිද?’
පහුගිය ටිකේ උණ ගැණිලා හිටියා. තාම ඇඟ අමාරුයි. ඒ වගේ වගක් වත් නැතිව මිනිහා බලා ඉන්නේ මැෂිම වගේ වැඩ කරනකල්.
අව්කූටකේ වැඩ කරන්න මට අමාරු වග මිනිහාට තේරුණා. ගේට්ටුව වහලා දාලා, ආපිට මාවත් එක්ක ආවේ කලාපේ වට රවුම කිට්ටුවට. වාහනේ හන්දිය පෙනෙන මානයෙන් නවත්වලා මිනිහා රුපියල් තුන්සීයක් දුන්නේ, පැය හතරහමාරක් විතර, මිනිහාගේ ගෙදර වැඩ, ලී මඩුවේ, උදලු ගෑම් වැඩ සේරෝටම හිලව්වට. මහත්තයාට කියන්න දේවල් හිතට ආවත් ඒකත් අත මිට මොළවාගෙන පෙජරෝවෙන් බැස්සේ කනගාටුවකට එහා ගිය කලකිරීමක් එක්ක, තද හිසරදයකුත් හදාගෙන…’
නුවන් මහේෂ් ජයවික්‍රම