Tuesday, April 22, 2025
Home » රුසියානු සපත්තු, චීන සපත්තු සහ අපේ සපත්තු

රුසියානු සපත්තු, චීන සපත්තු සහ අපේ සපත්තු

by sachintha
February 19, 2025 1:59 am 0 comment

“රුසියානු සපත්තුව අපට ලොකු වැඩි ය. චීන සපත්තුව අපට කුඩා වැඩි ය. එනිසා අප අපටම ගැළපෙන සපත්තුවක් නිර්මාණය කරගත යුතු ය.”

එලෙස පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ පළමු නායක රෝහණ විජේවීර ය. ඔහු එමඟින් අදහස් කළේ ශ්‍රී ලංකාවට ගැළපෙන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික දේහය සමඟ බද්ධ වූ, දේශීය සමාජ අර්ථ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ය.

මෙහි සංක්ෂිප්ත දේශපාලනික අර්ථකථනය ශ්‍රී ලාංකේය මාදිලියේ වාම දේශපාලනයක් ගොඩනඟා ගැනීම පිළිබඳව ය. එය සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික සාධක සමඟ කාලානුරූපීව වෙනස් විය යුතු බව ද මෙමඟින් අර්ථකථනය වේ. එය පොතේ ගුරුවාදය ඉක්මවා ගිය, ප්‍රායෝගිකත්වය සමඟ බද්ධ වූ, කාලානුරූපී වෙනසක් විය යුතු බව රෝහණ විජේවීර විසින් අවබෝධ කොට ගෙන වසර පනහකටත් වැඩි ය.

උක්ත දේශපාලනික පාඨය අපට සිහිපත් වූයේ නව රජයේ මංගල අය-වැය ලේඛනය හදාරද්දී සහ ඒ පිළිබඳ ධනාත්මක සහ නිෂේධනාත්මක අදහස් අධ්‍යයනය කරද්දීය. ලෝකයේ පවතින අතිශය ප්‍රගතිශීලි, ජනතාවාදී අය-වැය ඉදිරිපත් කළත්, විපක්ෂයට නම් එය හොඳ නැත. එබැවින් විවේචනය හැර අන් යමක් ඔවුන්ට ඉතිරි වී නැත. ඔවුහු අය-වැයේ එක් සාධනීය ලක්ෂණයක් හෝ නොදකිති. එසේ එය විවේචනයට ලක් කරන බොහෝ දෙනකු ඊට පෙර ආණ්ඩු පක්ෂවල සිටි අය වන අතර, එසේනම් ඔවුන්ගේ කාලසීමාවල වඩාත් හොඳම අය – වැය ලේඛන ඉදිරිපත්ව තිබිය යුතු ය.

මේ අය-වැය ලේඛනයට පෙර ඉදිරිපත් වූ අය – වැය ලේඛන 78 අතර එවැනි අය-වැය ලේඛන තිබුණේ නම් ඒ ඉතා අතළොස්සකි. නිදහසින් පසු කාල සීමාවල ගෙවුම් ශේෂය ඍණ අගයක් වූ මුල් අය-වැය ඒ පිළිබඳ උදාහරණ දක්වනු ඇත. එසේනම් ජනතා මුදල් අවභාවිත වූ පාලන කාල සීමාවල මැතිසබය නියෝජනය කළ විපක්ෂ මන්ත්‍රීවරුන් කතා කරන්නේ එළඹ සිටි සිහියෙන් යුතුව ද? යන ගැටලුව අප හමුවේ පවතියි.

අය-වැය ලේඛනය පිළිබඳ සාධනීය හා මධ්‍යස්ථ විචාර මඟින්, එහි ක්‍රියාත්මක කිරීමේ සීමාව තුළ ඇති කරගතහැකි වෙනස්කම් පවතී යැයි අපි සිතමු. මේ ඉදිරිපත්කොට තිබෙන්නේ ඉතිහාසයේ අනර්ඝතම, සුවිශේෂ වූ, අතිශය වැදගත් වූ, සාධනීයම අය-වැය ලේඛනය නොවිය හැකි ය. එහෙත් වසර 76ක් මුළුල්ලේ රට ගෙන ආ ආර්ථික පරිහානියේ දිශාවෙන් යම් මට්ටමකට හෝ මුදාගැනීමට හැකි ප්‍රවේශයක් මේ අය-වැය තුළ ඇතැයි අපි අපේක්ෂා කරමු.

ජාතික ධනය කොල්ලකෑ, රාජ්‍ය මුදල් අමුඅමුවේ විනාශ කළ දේශපාලනික අතීතය අමතක වූ අය මෙන් කරන කතා එතරම් සැලකිල්ලට ගතයුතු යැයි අපි නොසිතමු. පක්ෂ දේශපාලනයේ පාට කණ්ණාඩි පැත්තකට දමා, රට පිළිබඳ හැඟීමෙන් යුක්තව, සාධාරණ, මධ්‍යස්ථ විවේචනයක් සහිතව මෙකී අය-වැය ලේඛනය කියවාගතහොත් එහි සාධනීය ලක්ෂණ රාශියක් අන්තර්ගත බව හඳුනා ගතහැකි වනු ඇත. ඒ පිළිබඳව ආර්ථික පුරෝකථන, විවේචන සහ ඇගයීම්, විෂයය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් විසින් සිදු කරනු ඇති හෙයින්, එයට අපගේ කාලය මිඩංගු කිරීමට අපේක්‍ෂා නොකරමු.

පතුලටම හින්දවූ රාජ්‍ය භණ්ඩාගාරයකින් ජනතාවට අසීමිත සහන සුබසාධන ආර්ථිකයක් නඩත්තු කළ හැකි යැයි කිසිවකු හෝ සිතන්නේ නම්, ඔහු සමාජ අවබෝධයක් නැති අදේශපාලනික මිනිසකු හැර අන් කවරෙක් ද? සුබසාධන ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකය, වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය ආර්ථිකය නැංවීම යනාදී එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර සමබර කරගැනීම යනු අතිශය අසීරු කාරණයකි. පිරී ඉතිරී ගිය රාජ්‍ය භාණ්ඩාගාරයක් තිබුණේ නම්, විනාශ නොකළ රාජ්‍ය සමාජ දේහයක් තිබුණේ නම් එවැන්නක් කිරීම අසීරු කාරණයක් නොවේ. එනිසා මෙකී මූලික තත්ත්වය තේරුම් ගැනීමට පොදු සමාජයේ ජනතාව සමත් විය යුතු ය.

මීට පෙර සෑම අවස්ථාවකම අර්බුදවලට මුහුණ දුන්විට පාලකයන් ජනතාවට අවධාරණය කළේ පටි තද කරගන්නා ලෙස ය; එනම්: ජනතාවගේ පාර්ශ්වයේ පහසුකම්, වරප්‍රසාද කප්පාදු කර ගනිමින්, ඉදිරිය සඳහා කැපකිරීම් සිදු කරන ලෙස ය. එහෙත් පාලක පන්තියෙන් එවැනි ආදර්ශයක් නොලැබිණි. ඔවුන් ඇතිතරම් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගෙන තිබිණි. ජනාධිපති අරමුදලේ ප්‍රදානයන් සහ දේපළ හානිවලට වන්දි මුදල් ගැනීම පිළිබඳ ලේඛන පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ එළිදරව් වීමෙන් මෙය තවදුරටත් සනාථ කරගත හැකි ය.

එහෙත් මෙවර ඉහළ සිට පහළට ආදර්ශ දී තිබේ. ජනාධිපති වැය ශීර්ෂය කප්පාදු කොට, වරප්‍රසාද සීමා කොට, මැති ඇමැති වරප්‍රසාද සීමා කොට ඒ පිළිබඳ ආදර්ශය ඉහළින්ම දී තිබේ. මහජන නියෝජිතයා යනු සුවිශේෂ වරප්‍රසාදලාභියකු නොව, පොදු සමාජයේම නියෝජිතයකු බව එමඟින් අවධාරණය කොට තිබිණි. ඒ ආදර්ශය වචනවලට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව ක්‍රියාවෙන් ද ඔප්පු කොට තිබේ.

‘ජන වරමෙන් පිළිබිඹු වන අපේක්ෂා ඉටු කරලීමේ අරමුණින් යුතුව තිරසර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම මේ අය-වැය මඟින් සකස් කොට ඇති හෙයින් මෙය ඓතිහාසික අය-වැයක්’ බව ජනාධිපතිවරයා ස්වකීය අය-වැය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඒ නිසා ය. නිදහසින් පසු රට මුහුණදුන් ගැඹුරුතම හා සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදවලින් අනතුරුව ඉදිරිපත් කරන ලද මේ අය-වැය ලේඛනය සුවිශේෂ වන්නේ ඒ හේතුවෙනි.

එසේ නම් රටක් මෙපමණ කාලයක් තිස්සේ මෙතරම් අගතිදායක තත්ත්වයකට පත්වුණේ ජනතාවගේ වරදින් නොව, රාජ්‍ය පාලනයේ වරදිනි. දූෂිත පාලනය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති, වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරීත්වය මෙකී අර්බුදවල මූලය බව අප හඳුනාගත යුතු ය. එමෙන්ම එය අනිවාර්ය සත්‍යය ද වේ.

ආහාර අර්බුද, ආර්ථික අර්බුද, බුද්ධිගලනය, ඖෂධ හිඟ වීම, තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිර්මාණය වූයේ එකී අසාර්ථක ආර්ථික කළමනාකරණ සාධක හේතුවෙනි. එබැවින් අර්බුදයෙන් පසු ආර්ථිකය කළමනාකරණය කිරීම ඉතා පරිස්සම්සහගත ක්‍රියාවලියක් බව අපි යළිදු ලියා තබමු.

මේ නිසා ජනප්‍රියවාදී තීන්දු වෙනුවට, වඩා නිවැරදි සාධාරණ තීන්දු ගැනීමට රජය කල්පනාකාරී විය යුතු ය. සුබසාධනය, සහන සැලසීම පොදු ජනතාව පිනවීමේ අර්ථයෙන් නොව, අවශ්‍යතාවේ පදනම මත සිදු විය යුතුය. ඒ පිළිබඳ ආර්ථික හා සමාජීය දැක්ම රජය සතු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නිශ්චිත, විධිමත්, සැලසුම්සහගත ඉලක්ක මත රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ කාර්යක්ෂම ආර්ථික රාමුවක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය විනය ගොඩනඟා ගැනීමට ඉහළ සිට පහළට අවශ්‍ය මානසික පෙළඹවීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද ද අත්‍යවශ්‍ය වනු ඇත.

ඉතා සරලව කිවහොත්: අය-වැයේ කෙටිකාලීන සහ දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු ය.

ඉන්දියාව, චීනය, ජපානය, රුසියාව, පමණක් නොව; අමෙරිකාව ද ඇතුළු විවිධ අන්තර්ජාතික සංවිධානවල සහයෝගය ද එකී ආර්ථික පුනරුදය ඇතිකිරීමේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම ගත යුත්තකි. එය ඒ රටවල හෝ එකී සංවිධානවල කෝට් ඇඳ ගැනීමක් හෝ සපත්තු දා ගැනීමක් නොවිය යුතු ය. අන්තර්ජාතික සහයෝගය හා අන්තර්ජාතික සබඳතා යනු ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් බව අපි මීට පෙර ද ලියා තැබුවෙමු.

මෙනයින් එකී සියලු අර්බුද කළමනාකරණය කර ගත් දේශීය ආර්ථික ක්‍රමයකට රට මෙහෙයවීම යනු ඉතා අසීරු හා දිගුකාලීන ක්‍රියාදාමයකි. ඒ සඳහා යන ගමනේදී වඩාත්ම ගැළපෙන්නේ අපේ ක්‍රමයට නිර්මාණය කර ගත්, අපේ සංස්කෘතිය හා ආර්ථිකය සමඟ බද්ධ වුණු ‘දේශීය සපත්තුවකි’.

ඒ දේශීය සපත්තුව නිර්මාණය වනතුරු නිකම් බලා සිටීම අපගේ කාර්යය නොවිය යුතු ය. නරඹන්නාගේ පාර්ශ්වයේ සිට ක්‍රියාකාරීත්ව පාර්ශ්වය දක්වා අප සැම දෙනාටම එහි සාමූහික වගකීමක් ඇති බව මෙහිලා සටහන් කර තබමු.

අය-වැය ලේඛනය පිළිබඳ බලාපොරොත්තුසහගත අපගේ පුරෝකථනය එයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT