Home » පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා
අප්‍රේල් 1දා සිට

පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා

-ඇමැති වසන්ත සමරසිංහ

by sachintha
February 19, 2025 1:17 am 0 comment

අවම වැටුප් පනත සංශෝධනයට

මෙම වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අදාළ වන පරිදි අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන අතර ලබන ජනවාරි මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් තුන්දහසකින් වැඩි වන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000 දක්වා වැඩි වන බව ද හෙතෙම පැවසීය.

රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ කළ වැඩිම වැටුප් වැඩි කිරීම 2025 මෙවර අය-වැයෙන් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමඟ වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ ශ්‍රම බළකායෙන් වැඩි පිරිස පෞද්ගලික අංශය නියෝජනය කරනවා. පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 21,000ක් වෙනවා. පනත අනුව 17,500යි. පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති මැදිහත් වෙලා අපි වැඩි කරගත් 3500ක් තිබෙනවා. ඒකත් එක්ක තමයි 17,500 හැදෙන්නෙ. 21,000 අවම වැටුප පෞද්ගලික අංශයේ සියයට හැටකට වැඩි පිරිසට ලැබෙන්නේ මෙය තමයි. ඒ නිසා තමයි පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, හාම්පුතුන් සමඟ සාකච්ඡා කරලා මේ තීරණය ගත්තේ. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩි වූ වැඩිම මූලික වැටුප මෙවර අය-වැයෙන් යෝජනා කර තිබෙනවා. රුපියල් 21,000 සිට 30,000 දක්වා පෞද්ගලික අංශයේ මූලික වැටුප ලෙස මෙවර අය-වැයෙන් යෝජනා කර තිබෙනවා. අපි හාම්පුතුන් සමඟ ඒ සම්මේලන සමඟ සාකච්ඡා කරලයි මෙය සකස් කළේ. ඒ වගේම ඒ ගාණට පෞද්ගලික අංශයේ මූලික වැටුප ගෙන ආ යුතුයි. මොකද රාජ්‍ය සේවයේ මූලික වැටුප 40,000 දක්වා ගෙනැවිත් තිබෙනවා. වතු සේවකයන්ගේ වැටුප වැඩි වී තිබෙනවා. ඒ අයගේ 33,000ක් වෙනවා. වැඩිපුර නෙළන තේ දලුවලට ගෙවනවා. ඒක මේ අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අවම වැටුප් පනත සංශෝධනය කරනවා.

බංකොලොත් වෙච්ච රටක් ඒ බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අය-වැය. ඒ තුළින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම් මෙපමණ ප්‍රමාණයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. 2025ට රුපියල් බිලියන 102ක් යනවා, 2026ට බිලියන 128ක් යනවා, 2027ට බිලියන 95ක් යනවා. ඒ අනුව බිලියන 325ක් මේ වැටුප් වැඩි කිරීමට අපිට ගෙවන්න වෙනවා.

අපි ඉතාම වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ශක්තිය, වැඩ කරන ජනතාවගේ හයියත් එක්ක එකතු කරපු ආණ්ඩුවක්. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, වතු වගේම ධීවර ජනතාව ඇතුළු සියලු දෙනා එක්ක රටක් දිහා බලලා හදපු අය-වැයක්. සමහරුන්ට මේක දැනිලා තියෙනවා අපි උතුරට සැලකුවා, මෙහෙට සැලකුවා කියලා කියනවා. එහෙම නෑ. මුළු රටටම සලකලා තියෙන්නේ. රටේ වැඩ කරන ජනතාවට ඉතිහාසයේ කවදාටත් වඩා වැඩි වැටුප් වැඩි වීමක් දීලා තියෙනවා. ඒක රාජ්‍ය සේවයේ ඉන්න පහලම කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා රු.100,000ට ආසන්න මුදලක් අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩි වෙද්දි රු.15,000 වැඩි වෙනවා කාර්යාල කාර්ය සහායකයාට.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT