එතෙක් පැවති සංවෘත ආර්ථික පිළිවෙත වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1977 එජාප ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ය. ඒ සමඟම කිසිදු සීමා කිරීමකින් තොරව භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලැබිණි. 1960 දශකයේ පමණ සිට ලංකාවට රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දීමට කටයුතු සලසා තිබිණි. එහෙත් ඇතැම් විද්වතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ අදහස් නිසා රූපවාහිනිය ස්ථාපිත කිරීමේ කටයුතු ප්‍රමාද වූයේ ය. නමුත් එජාප ආණ්ඩුවේ අවසරය මත 1979 අප්‍රේල් 14 වැනි සෙනසුරාදා දිනයේ ස්වාධීන රූපවාහිනී සේවය නමින් පෞද්ගලික නාලිකාවක් ඇරඹිණි. එයින් වසර තුනකට පසු එනම් 1982 පෙබරවාරි 15 වැනිදා ජපන් රජයේ ආධාරයක් වශයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කරන ලදී.
මුලින්ම රූපවාහිනිය නාගරික ප්‍රදේශවල ජනතා ආකර්ෂණය දිනා ගත්තේ ය. එය දුර ඈත ගම්මාන කරා සේන්දු වූයේ 1980 දශකයේ මැද භාගයේ පමණ ය. එකල රූපවාහිනිය යනු ඇති – හැකි අයට පමණක් මිලදී ගත හැකි සුඛෝපභෝගී භාණ්ඩයක් විය. බොහෝ විට ගමකට තිබුණේ එක් රූපවාහිනී යන්ත්‍රයක් පමණි. එයද ගමේ යමක් කමක් ඇති පවුලකට අයත් විය. රූපවාහිනී යන්ත්‍රයේ අයිතිකරුවා කැමති වුවහොත් ගම්මුන්ටද සාලයට වී රූපවාහිනිය නැරඹිය හැකි විය. එසේ පැමිණි ජනයා සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසින් විකාශය වන නාට්‍ය, ප්‍රවෘත්ති නැරඹූහ.
රාත්‍රියේ විකාශය වන ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයට සවන් දීමට ඉංග්‍රීසි නොදත් බොහෝ දෙනා පවා එකත්පස්ව සිටියහ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයකු හා නිවේදිකාවක නිසාය. එම නිවේදිකාව වූයේ සුප්‍රකට විද්‍යුත් මාධ්‍ය නිවේදිකාවක හා ගායිකාවක වූ ‘නොඑලින් තොන්ටර්’ මහත්මියයි. නිවේදකයා අපූරු පෞරුෂයකින් සහ ආකර්ෂණීය කටහඬකින් යුක්ත වූ රිචඩ්ද සොයිසාය.
පොදු මහජනයා නොදන්නේ වී නමුදු රිචඩ්ද සොයිසා තරුණයා ඒ වන විටත් කොළඹ කේන්ද්‍රීය ඉහළ පංතික සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය. ඔහුගේ මව ප්‍රකට වෛද්‍යවරියක වූ මනෝරාණි සරවනමුත්තු නම් වූවාය. රිචඩ්ගේ පියාගේ පාර්ශ්වය ලාංකීය නිදහස් සටන වෙනුවෙන් කැපවී ක්‍රියාකළ පුද්ගලයන්ගෙන් සමන්විත විය.
1958 මාර්තු 13 වැනිදා උපත ලැබූ රිචඩ් ද සොයිසා ලාංකේය ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රතිභාසම්පන්න නළුවකු වූයේය. එපමණක් නොව නාට්‍ය ගුරුවරයකු, පුවත්පත් කලාවේදියකු, විද්‍යුත් මාධ්‍ය සන්නිවේදකයකු, මානවහිමිකම් ක්‍රියාධරයකු, දේශපාලන හා සමාජ චින්තකයකු ලෙසින් පුළුල් වපසරියක කටයුතු කළේ ය.
1980 දශකයේ මැද භාගය රිචඩ් ද සොයිසා වේදිකාවේ පමණක් නොව රූපවාහිනියේද, සිනමාවේ ද සිය ප්‍රතිභාව පැතිරවීමට සමත් විය. රූපවාහිනියේ ඉතා ජනප්‍රිය නාට්‍යයක් වූ ‘යශෝරාවය’ මුල් වරට නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ නාට්‍ය නිර්මාණයක් විය.
‘යශෝරාවය’ ජනප්‍රිය සාහිත්‍යවේදියකු වූ සෝමවීර සේනානායකගේ නවකතාවකි. එය රූපවාහිනී නාට්‍යයක් බවට පත් කරන ලද්දේ පරාක්‍රම නිරිඇල්ල විසිනි. අගනුවරට ආසන්න මැද පංතික පවුලක් වටා ගෙතුණු මෙම කතාව විකාශය වන වේලාවට අන් කිසිදු ගෘහ කටයුතු නැවැත්වීමට ප්‍රේක්ෂකයෝ පුරුදුව සිටියහ. රිචඩ් ද සොයිසා මෙහිදී රංගනයෙන් දායක වූයේ පවුලේ දෙවැනි පිරිමි දරුවා වූ ‘කිංස්ලිගේ’ චරිතයයි. විදේශගතව සිටින ඔහු එහිදී මුහුණ දෙන අර්බුද ඉතා සියුම් ලෙස නිරූපණය කරන්නට ‘රිචඩ්’ සමත් විය.
1985 වසරේදීම රිචඩ් ද සොයිසාගේ රංග ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී සිනමා පටයක් තිරගත විය. එය සුප්‍රකට ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් විරචිත තුන් ඈඳුණු නවකථාවේ අවසන් කොටස වූ ‘යුගාන්තයයි.’ මෙහිදී ‘රිචඩ්’ රඟපෑ භූමිකාව වූයේ ‘සවිමත් කබලාන’ නම් නිර්දය ව්‍යාපාරිකයාගේ පුතණුවන් වූ ‘මාලින්’ ගේ චරිතයයි. සිය කම්හලේ සිදුවන වැඩ වර්ජනයේදී කිසිදු ළතෙත් බවක් නොපෙන්වා කටයුතු කරන ‘සවිමත් කබලාන’ නව ධනවාදී චින්තනයේ සැහැසි බව ඉඳුරාම පළ කළේය. (ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහට සවිමත් කබලානගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට පාදක වූයේ ව්‍යාපාරික ලෝකයේද, මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේද දැවැන්තයකු වූ ඩී.ආර්. විජයවර්ධන බව කියැවෙයි. ‘මාලින්’ සිය පියාණන්ගේ ධනවාදී චින්තනයට එරෙහිව වාමාංශික ව්‍යාපාරයට එක්වෙයි. එහිදී ඔහු සියලු යස ඉසුරු හැර අබිනික්මන් කරයි. අවසානයේ පියාට එරෙහිව ගොඩනැඟෙන කම්කරු අරගලයේ නායකත්වය දරන්නේද ‘මාලින්’ මය.
1987 දී රිචඩ් ද සොයිසා රංගනයෙන් දායක වූ තවත් සිනමා පටයක් නිෂ්පාදනය විය. එය ‘සත්‍යග්‍රහණය’ නම් විය. එම කෘතිය ඩී.බී. වර්ණසිරිගේ අධ්‍යක්ෂණයක් විය. රිචඩ් ද සොයිසා මෙහිදී නිරූපණය කළේ සත්‍ය සොයා යන ජනමාධ්‍යවේදියකුගේ භූමිකාවයි. එහිදී ඔහු විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන අයුරු දක්නට ලැබේ.
රංගධරයකුට සිය වෘත්තිය තුළ විවිධ භූමිකාවන් රඟපාන්නට සිදුවීම අරුමයක් නොවේ. හොලිවුඩ් සිනමාවේ පමණක් නොව බොලිවුඩ් සිනමාවේද තිරයේ වීරයෝ පොදුජන වීරයෝද වෙති. ඔවුන්ගෙන් ඇතැම්හු මහ ඇමැති, මැතිවරු වෙති. පාර්ලිමේන්තු ද යති. එහෙත් එබඳු බොහෝ දෙනෙක් රිදී තිරය හෝ පුංචිතිරය තුළ දක්වන සංවේදී චරිත වෙනුවට දුෂ්ඨයන්ට හෝ චෞරයන්ට හෝ විදූෂකයන්ට ආරූඪ වෙති. අපේ රටේද එවැන්නෝ හිඟ නොවෙති!
නමුත් දෛවෝපගත ලෙස රිචඩ් ද සොයිසා නම් ආදරණීය මිනිසා තවත් වේදිකාවේ, රිදී තිරයේ හෝ පුංචි තිරයේ දැක්වූ භූමිකාවල පරාසය ඉක්මවා කටයුතු කළ නිර්භය අරගලකරුවකු විය. ඔහුට ඒ වන විට රැලි නඟමින් තිබෙන ලාංකීය ජනතා අරගලයේ කොටස්කරුවකු වීමට ඇවැසි විය. ධවල භීෂණය විසින් දොර දොර බලි බිලි, තැන නොතැන ටයර් සෑ මවන යුගයක ‘රිචඩ් ද සොයිසා’ ඒ කිසිවකට බිය වූයේ නැත.
සංවිධානාත්මක එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් 1983 ඇවිළ වූ කුප්‍රකට ‘කළු ජූලිය’ ඉතා භයානක, අවාසනාවන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය කළේය. එහිදී සාවද්‍ය ලෙස චෝදනා ගොනුකොට, එවකට උතුරු හා නැඟෙනහිර ශක්තිමත් දේශපාලන පදනමක් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කරන ලදි. මේ ඛේදවාචකය පිළිබඳව රිචඩ් ද සොයිසා ‘ඇතිමල් ක්‍රැකර්ස්’ යනුවෙන් කවියක් ලිවී ය. එය ‘නිව් සිලෝන් රයිටින්’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම රිචඩ් ද සොයිසා බොහෝ දෙනා විසින් වර්ණනා කරන ඇතැම් ලාංකීය ජනමත නායකයන්ගේ නග්නත්වය විවරණය කරමින් ලිපි සම්පාදනය කළේය.
1987 – 1989 ජනතා අරගලය වඩාත් තියුණු මුහුණුවරක් ගත්තේය. ගොවිබිම්, කම්හල්, සරසවි, පාසල් සියල්ල අරගලය වෙනුවෙන් කැපවී ක්‍රියා කළේය. සියලු වැඩ කරන ජනතාව වෙනුවෙන් ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නිමැවිණි. සරසවි සේවක අරගලය, ලංගම කම්කරු අරගලය ජයග්‍රහණයෙන් නිමා කරන්නට හැකිවීම ආස්වාදයට තුඩුදුණි.
නමුත් රජයේ හා අතුරු හමුදාවන් විසින් බලගැන්වූ මර්දන යාන්ත්‍රණය දවසින් දවස මිනිස් බිලි සිය ගණනින් ගනිමින් සිටියේය. මුළු රටම විශාලාවක් බවට පත්විණි. මේ බියකරු හෝරාවේ ජනමාධ්‍ය ද බියෙන් නිහඬ විණි. යන්තමින් හෝ සත්‍ය දැනගත හැකි වූයේ ‘රේඩියෝ වෙරිටාස්’ හේ BBC ගුවන් විදුලියේ ‘සංදේශය’ නැමති වැඩ සටහනෙන් පමණක් විය.
‘රිචඩ් ද සොයිසා නම් මානව හිතවාදියා ක්‍රියාත්මක වූයේ මේ මොහොතේ ය. ඔහු මේ වන විට ඉතාලිය මූලස්ථානය කරගත් ඉන්ටර් ප්‍රෙස් සර්විස් (IPS) නම් ප්‍රවෘත්ති ආයතනයට එජාප ආණ්ඩුවේ මර්දන හස්තයේ කුරිරු බව පිළිබඳව වාර්තා කරමින් සිටියේ ය. එය කෙතරම් අවදානම් කාර්යයක් වුව මව්බිමේ ජනතා අරගලය වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට ඔහු මොහොතකටවත් පැකිළුණේ නැත.
එසේම ඔහු බොහෝ කලක සිටම සමාජ සංවේදී කවියකු විය. ඉංග්‍රීසි බස මාධ්‍යයක් සේ යොදා ගනිමින් ඔහු ලියූ කවි ගැඹුරු සංකේතාර්ථ ජනිත කළේය. ඔහුගේ අකල් මරණයෙන් පසු පළ කරන ලද This other Eden (මේ තවත් ආදම් උයනක්) නැමැති කුඩා කාව්‍ය සංග්‍රහය මෙහිලා නිදසුන් ලෙස දැක්විය හැකිය. (මෙහි සටහන් වන්නේ, එම කවි පොතෙන් උපුටා සිංහලට පරිවර්තනය කළ Rites of Passage නම් කවියෙන් කොටසකි. එය නම් කර ඇත්තේ 1988 යනුවෙන් දැක්වෙන අනු ඡේදය යටතේය.)
“කෙසේ නමුදු දැන් ඔහු මිය ගොසිනි
මා ජීවතුන් අතරය.
අවසානයේ යුද්ධය ඔහු රැගෙන ගියේය.
ඔහුට පදක්කමක් ලැබිණි.
‘ජාතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා’
තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සොයා යනවා ද?
බෝම්බ – සහ මේ වැටවල.”
(- 14 වැනි පිටුව)
යුද්ධයේ බියකරු බව සහ එයින් සිදුවන අහිමිවීමේ වේදනාව මෙහිදී මැනවින් පසක් වේ. යුද්ධය යනු වෙනස් මුහුණුවරකින් දේශපාලන න්‍යාය පත්‍රය පෙරට ගෙනයාම බව එයින් පැහැදිලි වේ. සුප්‍රකට කවියකු හා නාට්‍යවේදියකු වූ බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඇතැම් නිර්මාණවල පවතින උත්ප්‍රාසාත්මක ගුණය රිචඩ්ගේ කවි මග තුළ ද විද්‍යමාන වේ.
සමාජ අරගලය පිළිබඳව සාහිත්‍ය ධාරාවත් හරහා කතිකා ගොඩ නැඟීම පමණක් රිචඩ්ට නොරිසි විය. ඔහුට ඇවසී වූයේ අරගලයේ පාර්ශ්වකරුවකු වීමට ය. රාණි සිනමාපටය තිරගත වන මේ මොහොතේ රිචඩ් ද සොයිසා පිළිබඳ යළිත් උණුසුම් කතාබහක් ඇතිවී තිබේ. සමාජ මාධ්‍යවල පළ වන ඇතැම් සටහන්වලින් කියැවෙන්නේ රිචඩ්ට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමතික වන දේශපාලනයක් නොතිබුණු බවය. එසේම ඔහු අරගෙලයේ ජවිපෙ පාර්ශ්වය පරාජය වෙමින් සිටි මොහොතක පවා ඒවා ඇතැම් ඉහළ නායකයන්ට රැකවරණ සැපයූ නිසා ඝාතනයට ලක් වූ බව ඇතැමුන්න්ගේ අදහසයි.
එහෙත් රිචඩ් යනු අරගලයේ සමෘද්ධිමත් යුගයේ සහ ඊට පෙර ද ඒ ගැන දැඩි අවධානයෙන් සිටි නිරීක්ෂකයකු විය. ඇතැමුන් දැනටමත් දන්නා පරිදි ඔහුගේ ට්‍රේල් වර්ගයේ යතුරුපැදිය ජවිපෙ පූර්ණකාලීනයන්ගේ පරිහරණයට ලබා දී තිබුණු එකකි. සිතිජය මාධ්‍ය සංසදය විසින් 1997 ප්‍රථම වරට සංවිධානය කරන ලද ‘රිචඩ් සොයා පියනැඟීම’ නමැති සමරු උළෙල කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සමරු රැස්වීමට රිචඩ්ගේ මෑණියන් වූ මනෝරාණි සරවනමුත්තු මහත්මිය ද පැමිණියාය. ඇය එදා පැමිණ සිටි ජනතාව ඇසු ප්‍රශ්නවලට ඉතා විවෘතව පිළිතුරු සැපයුවාය.
මෙබඳු රැස්වීම් කිහිපයක්ම සිතිජය මාධ්‍ය සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලදි. තවත් එක් රැස්වීමක ජනතාව ඇමතූ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ ගාමිණී හත්කොටුවේගම ද, පවසා සිටියේ රිචඩ්ගේ යතුරුපැදිය ජවිපෙ තරුණයන් විසින් පරිහරණය කළ බවයි.
ඉතා පැහැදිලිව සඳහන් කළහොත් ඔහුගේ යතුරුපැදිය ලබා දී තිබුණේ එවකට පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයකු වූ සුදත් බණ්ඩාර ජයකොඩිටය. පසුව සුදත් ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නමැති වෘත්තීය සමිති එකතුවේ නායකයකු ලෙස සක්‍රිය වැඩ කොටසක් ඉටු කළේය. එසේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වී නිර්මාණය කළ දේශප්‍රේමී එක්සත් පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාධරයකු විය. (පූර්ණකාලීනව දේශපාලනය ඉටුකරන සමයේ ඔහු ‘දිනේෂ්’ සහ ‘පරාක්‍රම’ යන අන්වර්ථ නම්වලින් පෙනී සිටියේ ය.
සුදත් බොහෝවිට දේශපාලන අවශ්‍යතා සඳහා භාවිත කළේ රිචඩ්ගේ යතුරුපැදිය යි. ඔහු එකල ඉඳහිට නැවතී සිටි කැලණිය සරසවියේ වීරසූරිය නේවාසිකාගාරය ඉදිරිපිට මේ යතුරුපැදිය නවතා තිබෙනු දක්නට ලැබිණි. ඒ කාලයේ නාඳුනන වෙඩික්කරුවන් නිසා යතුරුපැදි ධාවනයට හෙල්මට් භාවිතය තහනම් කර තිබිණි. ඇතැම් අවස්ථාවලදී රිචඩ්ම සිය යතුරුපැදියෙන් සුදත් හා වෙනත් දේශපාලන පූර්ණකාලීනයන් රැගෙන ගිය අවස්ථා පවා තිබිණි.
සමහර හමුදා හා පොලිස් මුරපොළවල යතුරුපැදිය පරීක්ෂාවට ලක් විය. ඒ හැම තැනකදීම හමුදා සහ පොලිස් භටයෝ රිචඩ් හඳුනා ගත්හ. ‘ආ… මේ අපේ රූපවාහිනියේ මහත්තයනෙ’ ඔවුහු ළෙන්ගතුව රිචඩ් ඇමතූහ.
එකම පත්‍රිකාවක්, පත්තරයක් හෝ පෝස්ටරයක් ළඟ තිබුණොත් මරණය හිමිවන යුගයක සිය යතුරුපැදිය ජවිපෙ පූර්ණකාලීන්යන්ට ලබා දීම බෙහෙවින් අනතුරුදායක කාර්යයක් බව කිව යුතු නැත. නමුත් රිචඩ් ඒ ගැන කිසි විටෙකත් බිය වූයේ නැත.
රිචඩ් ද සොයිසා නම් සදාදරණීය මිනිසා අකාලයේ ඝාතනය කර දැන් තිස්පස් වසරක් සම්පූර්ණ වී තිබේ. ඔහුගේ ඝාතනයට අණ දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළම තැනකින් බව හෙළිදරව් වී බොහෝ කල් ය. ඔහුගේ ඝාතකයන් අතර සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු වූ රොනී ගුණසිංහ රිචඩ්ගේ මව විසින් පැහැදිලිවම හඳුනා ගන්නා ලදි. ඒ ගැන පැමිණිලි කළ විට ඝාතකයන් වියරු වැටී තමන්ට අපහාස කළ බවට මනෝරාණි මහත්මියට නඩු පැවරීමට පවා නිර්ලජ්ජිත විය.
එක්දහස් නවසිය අසූ නවයේදී ජවිපෙ දේශපාලන පූර්ණකාලිනයකු වූ සුදත් බණ්ඩාර ජයකොඩි විසින් රිචඩ් සොයිසා හමුවී සාකච්ඡා කරද්දී ඉතා තීරණාත්මක කාරණා රිචඩ් විසින් පවසා තිබේ. තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ මට්ටමේ නායකයන් හමුවීමට ඇවසි බව ඔහු සඳහන් කර ඇත.
අද වනවිට රිචඩ් පමණක් නොව වෛද්‍ය සුගත්ද ජීවතුන් අතර නැත. (පසුකලෙක වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සුදත් කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර අංශයේ සේවය කළේය. පරිවර්තකයකු හා දේශපාලන විශ්ලේෂකයකු ලෙස ද සිය ප්‍රතිභාව පළ කළ සුදත් 2021 සැප්තැම්බරයේදී කොරෝනා වසංගතයට බිලිවිය.)
එදා සුදත් සමඟ අරගලය සම්බන්ධව සිය අරමුණු පැහැදිලි කරමින් රිචඩ් ද සොයිසා පැවසූ කාරණා මම මාගේ දෙසවනින් අසා ඇත්තෙමි. ඔහු පොදු ජනතා අරගලය පිළිබඳ එතරම් දැඩි විශ්වාසයක් ගොඩ නඟාගෙන සිටියේය. එතරම් අනතුරුදායක සමයක අසමසම කැපවීමක් කළ හැකි බව අවධාරණය කරන්නේ නිර්භීත මිනිසකුම මිස අන් කිසිවකුම නොවේ. ඒ නිසා රිචඩ් ද සොයිසා නම් සදාදරණීය මිනිසා ගැන කිසිවක්ම නොදැන සමාජ මාධ්‍යවල හිටිපිනුම්, බඩපිනුම් ගසන උදවියට අනුකම්පා කළ යුතු වේ.
‘රිචඩ්’ දිවි ගෙවූයේ දෙතිස් වසරක් පමණි. ඝාතකයෝ නොයෙක් වධ බන්ධන දී වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ සිරුර මුහුදට දැමුවේ එය සදාකාලික රහසක් ලෙස තබා ගැනීමේ රිසියෙනි. එහෙත් ඔහුගේ සිරුර මොරටුව කොරළවැල්ලට ගොඩ ගසා තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඝාතන රැල්ල ලොවටම හඬගා කියමිනි. එතැන් පටන් ඔහු ජනතා අරගලයේ සංකේතයක් බවට පත්විණි.
‘රිචඩ් සොයිසා’ නම් අපූරු කවියා වරක් මෙසේ ලිවීය.
මම කැමරාවක ඇසක් වෙමි
පරාවර්ථනය කරන්නට පමණක් හැකි
කිසිත් පිළිකෙව් නොකරන
මම කැමරාවක ඇසක් වෙමි
ජීවිතය සහ මරණය
නිහඬවම පටිගත කරන
ඇසට හැකි පරාවර්ථනය කරනු පමණය
ප්‍රතිරූප මවාලනු නොහැකිය
සෝදිසි කරත් සැබෑව
කිසිවිටක පිළිකෙව් නොකරන
මම කැමරාවක ඇසක් වෙමි
මම සත්‍යයම හැර අන් කිසිවක්
පරාවර්ථනය නොකරමි.
(-The Poet (කවියා)
“මේ තවත් ආදම් උයනක්”කාව්‍ය සංග්‍රහය 32 වැනි පිටුව)
වඩාත් සාධාරණ සමාජයක් ගැන සිහින මැවූ රිචඩ් ද සොයිසා අද ජීවතුන් අතර සිටියා නම් සතුටු වනු නිසැකය. ඒ අඳුරු යුගය ඔහු ලියූ කවිපෙළ ඇසුරින් අරගලය පිළිබඳ විශ්වාසය පසක් කරගත හැකි ය.
“අඩුම ගණනේ හෙට දිනයේ පහන
වඩාත් දීප්තියෙන් බැබළෙනු ඇත!
(රිචඩ්ගේ කවි සිංහලට නැඟූ චන්දිමා නිශ්ශංකට ස්තුතියි)
✍ තිස්ස නිහාල් වික්‍රමසිංහ ✍