Home » විත්තිකරුවෙක් නැති මරණයක්

විත්තිකරුවෙක් නැති මරණයක්

by Gayan Abeykoon
February 19, 2025 1:49 am 0 comment

චඩ් මරා දමා මේ වන විට වසර 35ක් ගතව ඇත. ඔහුගේ ඝාතනය සිදුවූයේ මෙරට ඉතිහාසයේ භීම සමයක ය. රිචඩ් හා ලසන්ත මෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් අවාසනාවන්ත නොවූවද, ශාරීරික අඩත්තේට්ටම්වලට ලක්ව එම කම්පනීය අත්දැකීමෙන් නිසා පිටුවහල් ජීවිතයකට යොමුවූ මාධ්‍යවේදීන් ගණන ද විශාල ය.

මාධ්‍යයට එරෙහි අඩත්තේට්ටම් සහ හිංසාවල ලැයිස්තුව දිගු වුවද, ඒ් එකදු අපරාධයකට හෝ දඬුවම් ලැබූවකු නැත. යුක්තිය එපමණටම දුරස්ථ ය. රිචඩ්ගේ මරණයෙන් පසු අදහස් ඝාතනයේ කුරිරු බව පිළිබඳ ප්‍රබල දේශපාලන කතිකාවක් නිර්මාණය වුවද, එම යුගයේ අනෙකුත් මරණවලට මෙන් ඔහුගේ මරණයට ද විත්තිකරුවකු නැත.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ සහ පොලිස් පරීක්ෂකවරුන් වූ එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි, සැරයන් ඩබ්ලිව්. සරත්මධු සෙසු විත්තිකරුවන් ය.

සිදුවිමෙන් වසර 25කට පසු නඩු කටයුතු අවසන් විය. එය බාධක මධ්‍යයේ ඉදිරියට ගිය නඩුවකි. 2005 වසරේ ඔක්තෝම්බර් 9දා නිකුත් වූ තීන්දුව අනුව විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබුහ. නඩුවේ තින්දුව ලැබෙන විට රිචඩ්ගේ මව මෙන්ම ප්‍රධාන චූදිත වූ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ද මළවුන් අතරට ගොස් සිටියහ.

රොනී ගුණසිංහගේ මරණය ස්වාභාවික එකක් නොවේ. රිචඩ්ගේ ඝාතනයෙන් වසර 3කට පසු පැමිණි කම්කරු දිනයේ සිදුවූ ස්වයංඝාතක ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මරුමුවට පත් විය. එම අවස්ථාවේ ඔහු අසළ  සිටි සමීපතයන් අතර රොනී ගුණසිංහ ද විය. ඔහු එතැනට ගොස් තිබුණේ රාජකාරි හේතුවකට නොවන බව පසුව ප්‍රකාශ විය.

ස්වභාව ධර්මය නඩු අසන බවට ජනයා තුළ මතයක් ඇති වූයේ ඉන්පසුව ය.

රිචඩ් පැහැර ගෙන යෑම රහසේ සිදුවූවක් නොවේ. ඔහුගේ නිවෙස පිහිටියේ හුදෙකලා පෙදෙසකද නොවේ. කෝට්ටේ නගර සභාව සමීපයේ, වැලිකඩවත්ත පාරේ ය. අධිආරක්ෂිත කලාපයක ය.

දොස්තර මනෝරාණී සරවනමුත්තුට අමතරව තවත් 6 දෙනකු සිදුවීම දුටුවේය. රිචඩ්ගේ කාර්යාල කාර්ය සහායක කරුණාදාස, ඔහූගේ බිරිඳ වන මල්ලිකා සහ ගෘහ සේවිකාව වූ සරස්වතී ඔවුන්ගෙන් තිදෙනෙකි. මෙයට අමතරව දෙමහල් නිවෙසේ යට තට්ටුවේ පදිංචි ඇල්ලේපොළ යුවළ ඇසින් දුටු තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකි. අසල්වැසියකු වූ උනන්තැන්න ද පැහැර ගැනීම දුටු තවත් අයෙකි. මොවුන් අතරින් ප්‍රබලම සාක්ෂිකාරිය වන්නේ රිචඩ්ගේ මව වන දොස්තර මනෝරාණී සරවනමුත්තුගේ සාක්ෂියයි.

“මා රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමින් සිටින විට දුටු දසුනකින් සලිත වුණා. එදින අප නිවෙසට පැමිණි තැනැත්තන් අතරින් මූලිකයා ලෙස පෙනුණු සුදු පැහැ කොට කලිසමක් සහ එම පාටින්ම යුත් ටී ෂර්ටයකින් සහ සුදු කැප් තොප්පියක් පැළඳි තැනැත්තා ඔහු බවට මට කිසිම සැකයක් නැහැ. රූපවාහිනි ප්‍රවෘත්තිවල සඳහන් වූ පරිදි ඔහු රොනී ගුණසිංහ. ඔවුන් මගේ පුතා පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ මා ඔහු වළක්වමින් පවුරක් මෙන් සිට ගත්තා. එවිට ගුණසිංහ මට මුහුණලා සිටියා. ඔහු මගේ අත ඉවතට විසිකර පුතා ඇද ගෙන ගියා.”

ලූෂන් සහ මනෝරාණි යුවළගේ එකම දරුවා රිචඩ් විය. ඔහු11 හැවිරිදි වියට පත් වන විට මවුපියන් දික්කසාද විය. එතැන් සිට මව සමඟ ඔහු රාජගිරියේ පිහිටි නිවෙසේ වාසය කළේ ය. මේ දෙදෙනාට අමතරව සේවකයන් කිහිප දෙනකු ද නිවෙසේ පදිංචිකරුවන් අතර විය.

මරුවා ආවේ 1990 පෙබරවාරි 18දා ය. ඒ වන විට ඔහු 32 හැවිරිදි කඩවසම් තරුණයෙකි. ඝාතකයෝ රිචඩ්ගේ නිවෙසට පැමිණීමට පෙර රූපවාහිනී නිවේදිකාවක වූ නොයෙලින් හොන්ටර්ගේ ගෙදරට ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායම ඔවුන්ට තර්ජනය කර බිය වද්දා රිචඩ්ගේ නිවසේ ලිපිනය විමසා ඇත. මැරයන් පිටත්ව ගිය පසු නොයෙලින්ගේ සැමියා වූ කෙනත් හොන්ටර් දුරකථනයෙන් රූපවාහිනියේ අර්ජුන රණවක අමතා සිදුවූ දෙය පවසා තිබේ. රිචඩ් සිටින්නේ අවදානම් තත්ත්වයක බව තේරුම් ගත් අර්ජුන සිය මිතුරාට උදව් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෙන්රි පෙරේරාට දන්වා ඇත. ඒ් වන විට උදෑසන 2.30ට පමණ විය. පොලිස් අධිකාරීවරයා ඒ බව වැලිකඩ පොලිසියට දන්වා ඇති බව කියැවේ. වැලිකඩ පොලිසිය පිහිටා ඇත්තේ රිචඩ්ගේ නිවසේ සිට යාර 400ක පමණ දුරිනි.

සන්නද්ධ කණ්ඩායම වැලිකඩවත්තේ නිවෙසට පැමිණ ඇත්තේ පාන්දර 3.00ට පමණය. වෙනත් විදියකට කිවහොත් පොලිස් අධිකාරීවරයාට දැනුම්දී අඩහෝරාවක් ගතවන තුරුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදුව නැත. එබැවින් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් සිදුව ඇතැයි සමහරු සැක පළ කළහ.

පැහැර ගැනිම සිදු කරනු ලැබ තිබුණේ 32 ශ්‍රී 4748 දරන කොළ පැහැ ජීප්රථයෙන් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් බව රිචඩ්ගේ මව පොලිසියට කළ මුල් පැමිණිල්ලේ සඳහන්වේ. වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට වුවමනාවක් තිබුණා නම් වහා කළ හැකිව තිබිණ.

මේ හේතුමත රිචඩ් පැහැර ගෙනයෑම සම්බන්ධයෙන් සෘජුවම ඇඟිල්ල දිගු වූයේ පොලිසියට ය.  ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ ද පොලිසිය විසිනි. විමර්ශන ස්වාධීන කොමිසමක් පත් කළ යුතු බවට එවක  නීතිඥ සංගමයේ සභාපති ජනාධිපතී නීතිඥ ඩෙස්මන් ප්‍රනාන්දු ජනාධිපති ප්‍රේමදාසට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ ය. ඔහුට එසේ දැන්වීමට හේතු වූයේ නීතියේ මුර දේවතාවා විය යුතු වූ නීතිපතිවරයා යුක්තිය ඉටු කිරීමට බාධා කරන බව එළිපිටම පෙනෙන්නට තිබුණු නිසාය.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු කටයුත්තට නීතිපතිවරයා වෙනුවෙන් සහභාගී වූයේ අධිනීතිඥ අනුර මැද්දේගොඩ මහතා ය.  වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි සරවනමුත්තු මහත්මිය  වෙනුවෙන් නීතිඥ බැටී වීරකෝන් ඔහුගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ ය. රිචඩ්ගේ ඝාතකයන් හෙළිදරව් කිරීමේදී නීතිපතිගේ භූමිකාව විවාදාත්මකය. නීතිපතිවරයා අධිකරණය පමණක් නොව පාර්ලිමේන්තුව ද නොමඟ යවන බවට විපක්ෂය චෝදනා කරන ලදී.

රිචඩ් ද සොයිසාගේ ඝාතනය ලාංකේය සමාජය බරපතළ කම්පනයට ලක් කළ සිදුවීමකි. ඔහුගේ මුතුන් මිත්තෝ වංශවතුන් වූහ. අද්විතිය නීතිඥයකු වන රාජ්‍ය නීතිඥ, සර් ප්‍රැන්සිස් සෙනරත් ද සොයිසා රිචඩ්ගේ පිය පස මුත්තණුවන් ය.

ප්‍රකට දේශපාලනඥයකු වන දොස්තර ආර්. සරවනමුත්තු ඔහුගේ මව් පාර්ශ්වයේ මුත්තාය. ඔහු කොළඹ නගර සභාවේ පළමු ස්වදේශික නගරාධිපතිවරයාය. මේ පවුලේ දේශපාලන බල ආධිපත්‍යයේ ස්වරූපය පිළිබඳ අදහසක්  ගැනීමට එකම අවස්ථාවක (1937-43) දොස්තර ආර්. සරවනමුත්තු, එස්. සරවනමුත්තු, එන්. සරවනමුත්තු යන සහෝදරයන් තිදෙනා කොළඹ නගර සභාව නියෝජනය කිරීමට සමත් වීමෙන් පැහැදිලි වේ.

ධනවත් නම්බුකාර පවුල් පසුබිමකට අයත් වීමට අතිරේකව ලයනල් වෙන්ඩ්ට් රඟහල කේන්ද්‍ර කරගත් සංස්කෘතික ලෝකය තුළ රිචඩ්ගේ පියා ලූෂන් මෙන්ම මව මනෝරාණී ද අවියෝජනීය පුරුක් වූහ. කඩවසම් පෙනුම, ගාම්භීර වචන හැසිරවීම, තියුණු දේශපාලන දැක්ම තුළ ඔහුට සමකළ හැකි වෙනත් පෞරුෂයක් නොවීය.

ප්‍රභූ පවුලකට අයත් මාධ්‍යවේදියකුගේ මරණය පොදු ජනයා කම්පනය කළ සිදුවීමක් වීම විරල අත්දැකීමකි. ජාතික රූපවාහිනියේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශකයා වීමට අමතරව ජනප්‍රිය සෝප් ඔපෙරාවක් වූ “යශෝරාවය” ටෙලි නාට්‍යයේ වීරසේකර පවුලේ පෙරළිකාරයා වූ  “රියන්සි”ගේ භූමිකාව එයට බලපෑ තවත් සාධකයකි. මෙයට අමතරව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “යුගාන්තය” චිත්‍රපටයේ රැඩිකල් තරුණයා වූ “මාලින් කබලාන” චරිතය ද ඔහු ඒ් වන විට සාර්ථකව රඟපා තිබුණි. රිචඩ්ගේ බරසාර හඬින් ප්‍රවෘත්ති අසන්නට ඉංග්‍රීසි භාෂාව නොදන්නා මිනිස්සු ද රූපවාහිනිය වටා එක් වුහ.

ඔහු සමාජයේ පන්ති විෂමතා විනිවිද ගිය තැනැත්තෙකි. සිය මෙහෙවර මිස අන්යමක් නොසිතන විරල කුලකයකට අයත් වූවෙකි. තමන් කරන දෙයෙහි බැරෑරුම් බව ඔහු හොඳින් දැන සිටියා විය යුතුය. ජීවිත අවදානම පසෙකට තබා තම කාර්යයේ නිරතවූ තැනැත්තෙකි.

මරණයට දින දෙකකට පෙර ටෙලෙක්ස් මගින් ඔහු යැවූ වාර්තාවක හදිසි අවස්ථා නියෝග බරපතළ ලෙස විවේචනය කර තිබිණි. රිචඩ් සිය වාර්තාව අවසන් කර තිබුණේ මෙසේ ය. “මළ සිරුරුවලට යුක්තිය ඉටුවේ. ජීවත් වන්නවුන් ගැන සිතිමට කාලය පැමිණ තිබේ!” යනුවෙනි.

රිචඩ්ගේ මරණය සිදුවන විට ආණ්ඩුවට එරෙහි කැරලිකාරීත්වය පරාජයව තිබිණ. එවැනි තත්ත්වයක් තුළ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න 1989 වසරේ දෙසැම්බර් 22දා පාර්ලිමේන්තුවේදී රජය අසීරුතාවට පත් කරන කුමන්ත්‍රණයක් පිළිබඳ අපූර්ව හෙළිදරව්වක් කළේය. එම විස්තරයට අනුව සැලැස්මේ මෙහයුම්කරුවන්  කැරැල්ලෙන් පසු දිවි ගලවා ගත් ජවිපෙ ක්‍රියාකරුවන් පිරිසකි. කුමන්ත්‍රණයේ අරමුණ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ අසත්‍යය තොරතුරු විදේශයන්ට ලබාදීම මගින් ශ්‍රී ලංකාවට සපයන ආධාර වැළැක්වීමයි.  “කිසි විටෙකත් සැක කළ නොහැකි තැනැත්තන් මේ පිටුපස සිටින බව” ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ඉන් සති 2කට පසු  “ඩේලි නිවුස්” පුවත්පත මේ ආඛ්‍යානය තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබිණි. එකී පුවතට අනුව ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දුන් ප්‍රබල පුද්ගලයන් 80ක් ඔත්තු සේවා අංශ විසින් අනාවරණය කරගෙන ඇත. විශේෂ කණ්ඩායමක් විසින් ඉදිරියේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව කියැවිණ. ප්‍රශ්න කිරීමට යෝජිත තැනැත්තන්ගෙන් ඇතැමුන් විදේශගතව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය. පසුබිම සකස් වන්නේ කුමන ආකාරයේ දඩයමක් සඳහා දැයි තේරුම් ගැනීමට සුවිශේෂ දැනුමක් අවශ්‍යය නොවේ.

රිචඩ් ද සොයිසා, මේ වන විට “ඉන්ටර් නැෂනල් ප්‍රෙස් සර්විස්” නොහොත් “ඉන්ටර් ප්‍රෙස්” ආයතනයේ කොළඹ කාර්යාලය භාරව කටයුතු කරමින් සිටියේය.  ගවේෂණාත්මක පුවත් වාර්තා කිරීම ඔහුගේ විෂයපථය විය. දිවයිනේ විවිධ පළාත්වල සැරිසරමින්, විවිධ පුද්ගලයන් හමුවෙමින් ඔහු මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ප්‍රවෘත්ති සැපයී ය.

1989 දෙසැම්බරයේ මෙන්ම 1990 වසරේ ජනවාරියේ සැලකිය යුතු කාලයක්ද ඔහු ගතකළේ දිල්ලියේ ය. එහි සිටියදී ඔහුට පෘතුගාලයේ ලිස්බන් කාර්යාලට මාරුවක් ලැබිණ. ඒ සඳහා පිටත්වීමට පෙර ඔහු දිවයිනට පැමිණියේ ය.

වෙනත් කෙනකු එම කෙටි කාලය වැය කරනු ඇත්තේ ගමනට අවශ්‍යය අඩුම කුඩුම සපයා ගැනිම කෙරෙහි ය. නමුත් ඔහු තත්ත්පර වූයේ කොළඹ ආශ්‍රිත සංස්කෘතික කවයන් තුළ ය. තිඹිරිගස්යායේ පිහිටි “හංස ප්‍රකාශන” කාර්යාලය රිචඩ් එලෙස යන එන තැනකි. සුනිලා අබේසේකර ඇතුළු පිරිසක් එහි නිතර ගැවසුණහ. කලාව, දේශපාලන, සාහිත්‍යය වැනි දේවල් ගැන මේ පර්ෂදවල කතාබහ සිදුවිය. රටේ දිනෙන් දින සිදු වන මානව හිමිකම් උල්ලංඝණයන් ගැනද ඔවූහූ උනන්දුවෙන් අදහස් බෙදා ගත්හ.

මේ පොත්හලේ අලෙවියට තබා තිබුණු එක්තරා පොතක් ගැන රිචඩ්ගේ අවධානය යොමු විය. මිල ගණන් විමසා පසුම්බිය බැලු විට ප්‍රමාණවත් මුදලක් නැති බව හේ දුටුවේය. නොබෝ දිනෙකින් නැවත පැමිණෙන බව දන්වා ඔහු ඉන් පිටවිය.

ගත වූයේ දින දෙකකි. සසළ කරවන පුවතක් අසන්නට ලැබිණ. වධදී ඝාතනය කරන ලද රිචඩ්ගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ලට ගොඩගසා තිබුණු බව වාර්තා විය.

හංස ප්‍රකාශන ආයතනයේ හිමිකරු වූයේ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ සැමියාය. ඇය එම සිදුවීම මෙලෙස සිහිපත් කරයි. “මරණය අහලා අපි ගොඩක් කම්පා වුණා. රිචඩ් තෝරගෙන තිබුණෙ හැරල්ඩ් ලැස්කි ලියපු දේශපාලන විද්‍යා පොතක්. මේ පොත මට එයාට දෙන්න තිබුණෙ කියලා මහත්තය නිතර කිව්වා. එයා කවදාවත් ඒ් පොත විකුණුවෙ නැහැ.”

රිචඩ් පැහැර ගැනීමට ලක්වන විට ආරක්ෂක ඇමැතිවරයාගේ කුප්‍රකට හෙළිදරව්වට මාස 2ක් ගතව තිබිණි. ඔහු විසින් එක්රැස් කරගත් මානව හිමිකම් උල්ලංඝණ  තොරතුරු රටින් පිටවීම වැළැක්වීම ඝාතනයට ආසන්නම හේතුව බවට කියැවිණ.

රිචඩ් ඝාතනයෙන් උපන් සමාජ සංවේදීතාව මරා දැමිමට වගකිව යුත්තෝ විවිධ අපවාද සමාජයේ පැළ කළහ. ඝාතනයෙන් මසකට පසු 1990 මාර්තු 2දා ගුවන් විදුලිය ප්‍රචාරය කළ ප්‍රවෘත්තියක් මෙසේය.

“මාධ්‍යවේදී රිඩඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණවලින් ඔහු ජවිපෙ සාමාජිකයකු බව අනාවරණය කරගෙන ඇති අතර වරාය, රෝහල්, ප්‍රවාහන සේවකයන්ට සහ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන නිකුත් කිරීම මුලිකව ඇති බව ලංකා පුවත් සේවය වාර්තා කරයි. මෙයට අමතරව ඔහු ජවිපෙ උපනායක ගමනායකට දැන්වීම් මුද්‍රණය කරදීමෙන් සහායව ඇති අතර මානව හිමිකම් උල්ලංඝණ ගැන ව්‍යාජ ප්‍රවෘත්ති විදේශයන්ට සපයා ඇත.”

ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්නගේ ප්‍රකාශය, නීතිපතිවරයාගේ හැසිරීම, අනතුරුදායක පිළිබඳ දැන්වීමෙන් පසුවත් රිචඩ්ගේ ආරක්ෂාව වෙනුවෙන් යමක් කිරීමට අසමත්වීම, මරණයෙන් පසු සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස වූ ඉල්ලීම් දේශපාලන හා ලිංගික හේතු දක්වා වෙනත් පැත්තකට යොමු කිරීමට වගකිවයුත්තන් උත්සාහ කරන ලදී.

පුද්ගල ඝාතනය මාධ්‍ය මර්දනයේ දරුණුම අවස්ථාවයි. යමකු ඝාතනය කිරීමෙන් යළි පිරවිය නොහැකි රික්තකයක් නිර්මාණය වේ. එහි බලපෑම වින්දිතයා අයත් පවුලට පමණක් සීමා වන්නක් නොවේ. ලේ වැකුණු අතීතය සිහිකිරීම අවශ්‍යය වන්නේ එවැනි යුගයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහාය.

 

  ✍ චන්දන ජයවීර ✍ 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT