අප තවමත් යුක්ති ගරුක දේශපාලන සමාජයක සිහින වෙනුවෙන් ජීවත් වෙමින් සිටින්නෙමු. එහෙත් බියකරු ලෙස සෑම විටම අප ඉදිරිපිට දිස් වන්නේ කුමක්ද ?
1990 පෙබරවාරියේ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ගේ 35 වැනි අනුස්මරණය වෙනුවෙන් සටහනක් තබන්නට සිතමින් සිටි මට ඔහුගේ ඝාතනයෙන් දශක ගණනාවකට පසුවද අප දිවි ගෙවන්නේ පාලකයන්ගේ උන්මන්තක බල කාමය අතිශයින් තියුණු හා සංකීර්ණ ලෙස අප පෙළන දේශපාලන සමාජ පසුතලයකැයි සිතෙයි. ඒ හැගීම මැඩ පැවැත්ම අපහසු වනුයේ සාමාන්‍ය ජනතාවගේ අභිලාෂය මත පාලක පංතියේ වෙනසක් වුවද තවමත් මෙරට හිටපු පාලකයන්ගේ ප්‍රචණ්ඩ හා සැහැසි ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රියාවලිය අවසන්ව නැති බව පිළිඹිබු වීම නිසාය. පසු ගිය ජනවාරි 25වන දින මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් මෙරට හිටපු දූෂිතම පාලකයෙකු වන මහින්ද රාජපක්ෂ ගෙ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ තමා අත් අඩංගුවට ගැනීම හමුවේ කියා සිටියේ මෙරට නීතියට හෝ ජනතා අප්‍රසාදයට බිය නොවන බව හා අපට ඕනෑම දේශපාලන වාතාවරණයක් තුළ රිසි ලෙස නිදහස භුක්ති විදීමේ වරප්‍රසාද තිබෙන බව කියා පෑමද..?
එහෙයින් මේ සටහන ලාංකීය අතීත දේශපාලන ඝාතන සංස්කෘතියක් තුළ රිචඩ් ලසන්ත, සිවරාම්,ප්‍රගීත් ඇතුළු දකුණේද උතුරේද ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන්,හා දශක ගණනාවක් පුරා ලක්ෂ 3ක් ඉක්මවූ, අතුරුදහන් කරවූ සිවිල් පුරවැසියන් වෙනුවෙන් මිනීමරු පාලකයන්ගේ බල ආධිපත්‍යය ට එරෙහිව දේශපාලන යුක්තිය උදෙසා වන නොනිමි අපේක්ෂාවෙන් සටහන් කරමි.
සිය එකම පුතු 31හැවිරිදි වියේදී රාජ්‍ය නිල නොවන ආයුධ සන්නද්ධ කල්ලියක් අලුයම නිදි ඇඳුමින්ම පැහැරගෙන ගොස් හිසට හා බෙල්ලට වෙඩි තබා ඝාතනය කර අනතුරුව පසුදා හවස ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තම පුතුගේ ලෙස හඳුනාගත් වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ඇය අවසානයේ ගිලන්ව මියෙන තෙක් සිය පුතුට මෙන්ම මෙරට අතුරුදහන් කරවූ සෑම දරුවෙක් වෙනුවෙන්ම හඬ නඟන්නට යුක්තිය උදෙසා අරගල කරන්නට “මව්වරුන්ගේ පෙරමුණ” සමඟ පෙරමුණ ගත්තාය..
1991 වසරේ මාර්තුවේ සිය පුතු සාහසික ලෙස ඝාතනය කර වසරක් සපිරෙද්දී “ආදරණීය රිචඩ් පුතේ..” යනුවෙන් රාවය පුවත්පතෙහි තැබූ සටහනක් අවසන් කරනුයේ මෙසේය.
ආදරණීය රිචඩ් පුතේ…
සිනාසෙමු අපි එකට එදා මෙන් අප අතර වූ පුංචි විහිළු වලට
ජීවිතය ඇත තවමත්
එදා මෙන් අප අතර
අප අවට බලා සිටිමි
ඔබ එනතුරා අත ළඟම ඇති මඳ විරාමයකට සියල්ල යථා පරිදි
හොඳින් පවතී …
-මනෝරාණි අම්මා –
සැබවින්ම ඇය බලාපොරොත්තු දල්වා ගෙන සිටියද මිනීමරුවන් ගේ තර්ජන නොතකා පුරා දශකයකට අධික කලක් නීතිය හමුවේ සිය පුතුගේ ඝාතකයන්ට එරෙහිව සාධාරණ යුක්තියක් ඉල්ලා සිටියද ආරම්භයේ සිට අවසානය දක්වා මනෝරාණි අම්මාට පමණක් නොව තම සමීපතමයන් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලැබූ සුවහසක් පවුල් වල මා පියන්ට, බිරින්දෑවරුන්ට, දූ දරුවන්ට සාධාරණත්වයක් මේ දේශපාලන සංස්කෘතිය තුළ ඉටු නොවිණි.
තමා පදිංචිව සිටි වැලිකඩ නිවාස සංකීර්ණයට අලුයම පැමිණ කිසිදු හේතු දැක්වීමකින් තොරව ඉන්ටර් ෆ්‍රෙස් පුවත් ආයතනයේ කොළඹ ප්‍රධානී ලෙස සේවය කළ කීර්තිමත් මාධ්‍යවේදියකු වූ තම පුතු රිචඩ් පැහැරගෙන ගිය ආයුධ සන්නද්ධ කංඩායම පැමිණියේ 32 ශ්‍රී 4748 දරණ කොළ පැහැති ජීප් රථයෙන් බව මනෝරාණි වැලිකඩ පොලීසියට පැමිණිලි කළාය. පසු දින මුහුදු වෙරළට පාව ආ මළ සිරුර කලුබෝවිල රෝහලේදී සිය පුතුගේ බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඇය මිනීමරුවන් සොයා නීතියේ සහය පැතුවාය. (ඇය සමග රිචඩ් ගේ මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කිරීමට රිචඩ්ගේ මාධ්‍යය සගයකු වූ තාරකී නමින් ප්‍රසිද්ධ ධර්මරත්නම් සිවරාම් ඉදිරිපත් විය.)
ඒ පැමිණි ඝාතන කල්ලියේ දෙදෙනකු තමාට හඳුනා ගත හැකි බවට මනෝරාණි පසුදා වැලිකඩ පොලීසියට ප්‍රකාශ කළ අතර ඉන් මාස 3කට පසු රූපවාහිනී වැඩ සටහනක් නරඹමින් සිටියදී දුටු පොලිස් නිලධාරියකු හඳුනා ගනිමින් ඔහු තම පුතු පැහැරගෙන ගිය කල්ලියට අයත් බව කීවාය.ඇගේ නීතිඥයා බැටී වීරකෝන් මගින් මෙය කොළඹ මහාධිකරණයේ නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරිය වෙත දැන්වූ විගස මේ පිළිබද ඔහු අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරන මෙන් වැලිකඩ පොලීසියට නියෝග කළද, පොලීසිය විසින් එය පැහැර හරිමින් මිනීමරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ සැලසුවේ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ රංජන් විජේරත්න ඔහු අත් අඩංගුවට නොගන්නා මෙන් නියෝග කළ නිසායැයි තොරතුරු හෙළිව ඇත. එසේම එවක විපක්ෂය රිචඩ් ඝාතනය පිළිබද පරීක්ෂණ පැවැත්වීමට කොමිසමක් පත් කරන මෙන් පාර්ලිමේන්තුවේ කළ ඉල්ලීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් ප්‍රතික්ෂේප කළේ “සෑම මරණයකටම කොමිසමක් පත් කරන්න බැහැ” යනුවෙන් පිළිතුරු දෙමිනි.
මේ පොලිස් නිලධාරියා හඳුනාගෙන අධිකරණයට දැනුම් දීම සමඟ මනෝරාණි හා ඇගේ නීතිඥ බැටි වීරකෝන් දුරකථන හරහා නිරන්තර මරණ තර්ජනයන්ට ලක් විය. මේ සම්බන්ධයෙන් ඔවුනට කිසිදු ආරක්ෂිත රැකවරණයක් නොලැබුණි.
මරණීය තර්ජන එල්ල වුවද, එය නොතකා සිය පුතු සේම අතුරුදහන් කරවනු ලැබූ, අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ දූ දරුවන්ගේ මාපියන් දිරිමත් කරමින් මේ ඝාතන සංස්කෘතිය අවසන් කිරීමට නිර්භයව පෙරමුණ ගත් මනෝරාණි 1991 කොළඹ නව නගර ශාලාවේ පැවති අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකමුතුව අමතමින් මේ ම්ලේච්ඡ දේශපාලන ප්‍රචණ්ඩත්වය ට එරෙහිව එක් වන්නැයි ලාංකීය සමාජයෙන් ඉල්ලා සිටියාය.
එසේම ඇය බීබීසී පුවත් සේවය හා ලංකාවේ ජනමාධ්‍ය හරහා ඝාතනයට එරෙහි හා සමාජ නිදහස හා යුක්තිය පිළිබඳ අදහස් සමාජ ගත කරන්නට වෑයම් කළා ය.
“අපගේ ළමා කාලයේ නම් සියල්ල යහපත් ය. සියල්ල සුන්දරය. අපි මුහුදු වෙරළේ කෙළි සෙල්ලම් කළෙමු. කිසිවෙක් නොආහ. අපි කඳු ගැට අතරේ දුව පැන ඇවිද්දෙමු. සිනාසුණෙමු. දැනුවත් වුණෙමු. කිසිවෙක් අප මරන්නට නොඅවේ ය. අපි එවැනි තරුණ කාලයක් ලැබූ හෙයින් අපගේ දරුවන්ටත් එවැනි කාලයක් ලබා දෙන්නට නැඟී සිටිය යුත්තෝ නොවෙමුද? එවිට ඔවුන් බල්ලන් මෙන් මරා නොදමනු ඇත. ඔවුන්ගේ සිරුරු ගංගාවල් දිගේ පහළට ගසා නොයනු ඇත. මුහුදු වෙරළට ගොඩ නොගසණු ඇත.
ඇය බියෙන් තැති ගෙන සිටි ලාංකික සමාජයට අවදි කර පෙරට ඒමට.. දේශපාලන ප්‍රචණ්ඩත්වය ට එරෙහිව හඬ නැඟීමට. අයෝමය පන්නරයක් වූවාය. රිචඩ් ඝාතනය කරනු ලැබූවද ඔහු පෙනී සිටි දේශපාලන මතවාදය නිහඬ කරන්නට දේශපාලන ඝාතකයෝ අසමත් වූහ.
නිදහස හා යුක්තිය උදෙසා මාධ්‍යකරණය තුළ ඔහු ජීවිත පරිත්‍යාගයෙන් කළ කාර්‍යභාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රජාව සුවිශේෂී ඇගයීමකට ලක් කරන ලදී. ඔහුගේ මරා දැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානවහිමිකම් කඩ කිරීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූ අතර ලංකාවේ දේශපාලන ඝාතන රැල්ලේ යම් අඩුවක් මේ හරහා පිළිඹිබු විය. එසේම මෙරට ජනතාව වඩා ශිෂ්ට සම්පන්න දේශපාලන සමාජ පරිවර්තනක් අපේක්ෂා කළහ.
රිචඩ්ගේ දේශපාලන ඝාතකයා ලෙස ඍජුවම චෝදනා එල්ලවූ ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග රිචඩ් පැහැරගෙන ගොස් ඝාතනයට සම්බන්ධවූ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ 1993 මැයි 1 වන දින ද රිචඩ් ඝාතනයට අණ දුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රංජන් විජේරත්න 1991 දී මහ මග ඝාතනයට ලක් වූයේ ඇතැම් විට බලය සදාකාලිකය යන උන්මාදයක් ඇතම් පාලකයන් තුළ වුව ද එය සදාකල් නොපවතින බව තහවුරු කරමිනි.
ගිලන් වන තෙක් සිය පුතු වෙනුවෙන් කළ අරගලය අත් නොහැරි මනෝරාණි 2004 වසරේ මිය යන්නේ තම පුතුගේ ඝාතකයන්ට එරෙහිව නීතියෙන් යුක්තියක් අත් පත් කර නොගනිමිනි. එසේම රිචඩ්, මනෝරාණි හා ලාංකික ජනතාව අපේක්ෂා කළ යුක්තිය හා නිදහස යළි යළිත් අභියෝග යට ලක් කෙරෙන්නා වූ දේශපාලන සංදර්භයක් තුළ රිචඩ්ගේ අන්‍යයතාව හඳුනා ගත් මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යට එරෙහිව අදහස් පළ කිරීම නිසා 2005 අප්‍රේල් 28වන දින හවස බම්බලපිටිය පොලිස් ස්ථානය අසළදී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් ඝාතනය කර පසු දින ඔහුගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසළ ප්‍රදර්ශනයට තිබුණි.
වසර 15ක් පුරා ඇදී ගිය රිචඩ් ද සොයිසා ඝාතනයේ නඩුව 2005 ඔක්තෝබරයේ අවසන් වනුයේ පැමිණිලි පාර්ශ්වය විසින් චූදිතයන් ලෙස ප්‍රකාශ කරනු ලැබූ සියලු විත්තිකරුවන් නිදහස් කරමිනි. මේ අනුව මනෝරාණි සරවනමුත්තු සිය පුතු පැහැර ගෙන ගියා යයි 1990දී හඳුනාගත් 2005දී සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් වීම් ලැබ සිටි ලාල් ප්‍රියන්ත ධර්මසිරි රංචාගොඩ සහ පොලිස් නිලධාරී බෝදෙනිය ගම්ලත් ගෙදර දේවසුරේන්ද්‍ර සහ සැරයන් මහවෙඩික්කාරගේ සරත්චන්ද්‍ර යන විත්තිකරුවන් මහාධිකරණය විනිසුරුවරිය වන රෝහිණී පෙරේරා මේ චූදිතයන් සියලු චෝදනා වන්ගෙන් නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ සාක්ෂි පරස්පර හා විශ්වසනීයත්වයෙන් තොර බව සදහන් කරමිනි.
ඇසින් දුටු සාක්ෂි පවා විශ්වසනීය නොවන ලෙස අරුත් ගන්වන, නීතිය පාලකයන්ට ඇවසි ලෙස රජයන රාජ්‍යයක, රිචඩ්ගේ මරණයෙන් අනතුරුවද මුහුදු වෙරළේ කෙළි දෙළින් සිටි ළමුන් රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සාපරාධී ලෙස ඝාතනය කර ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කළහ. ඒ පිළිබද සත්‍යය හෙළිකළ මාධ්‍යවේදීන්ද නන්නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී. මෙවන් කෲර ඝාතනය සිදුවීම් සදහා තවමත් වග උත්තරකරුවන් නොමැත. සුඩර්ඔලි පුවත්පතෙහි හා උදයන් පුවත්පතෙහි ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වාර්තා කරු වූ සුබ්‍රමනියම් සුගීර්දරාජන් 2006ජනවාරි 24වන දින ත්‍රිකුණාමලය අධි ආරක්ෂිත කලාපයක්දී වෙඩි තබා ඝාතනය කෙරෙනුයේ ඉන් දෙසතියකට පෙර ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ විනෝදවෙමින් සිටි පාසැල් සිසුන් 5 දෙනකුගේ ඝාතනය ඍජුවම ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බවට සත්‍යය හෙළි දරව් කිරීම නිසාය. අදටත් සුගීර්දරාජන්ගේ ඝාතකයන්ද නිදැල්ලේ ය.
ඉන් අනතුරුවද මාධ්‍යවේදීන් මෙන්ම තවත් දහස් ගණන් සිවිල් වැසියන් මිනීමරු හා මුග්ධ පාලකයන්ගේ පටු අභිලාෂයන් මත මරා දමමින් මිනී මරුවන් නිදැල්ලේ සිටින රාජ්‍යයක අපි තව දුරටත් යුක්තිය සහ සමානාත්මතාවය උදෙසා සිහින අත් නොහැර සමාන හා සාධාරණ ලෙස නීතියේ රැකවරණය හිමිවන ස්වාධීන හා ජනතා විශ්වාසය මත පදනම් ව යුක්තිය පසිඳලන, මානවීය අයිතීන් සුරකින නෛතික සන්දර්භයක් හා නව දේශපාලන සමාජ සංස්කෘතියක් අපේක්ෂාවෙන් සිටින්නෙමු.
✍ තිලිනා වීරසිංහ✍