Wednesday, April 23, 2025
Home » හෘද සාක්ෂියේ කවියා

හෘද සාක්ෂියේ කවියා

by Gayan Abeykoon
February 19, 2025 1:50 am 0 comment

රිචඩ් ද සොයිසා නම් කවියාගේ  කාව්‍ය නිර්මාණයන්හි සුවිශේෂත්වය මෙන්ම ඔහුගෙන් සමාජයට එක් වූ දෑ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ කථිකාචාර්ය විහඟ පෙරේරා මහතා සමඟ කළ කතා බහක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

රිචඩ් ද සොයිසා කවි රචනා කරනු ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහුගේ සමකාලීනයන් හා සැසඳීමේදී  රිචඩ් ද සොයිසාගේ කවියෙහි සුවිශේෂත්වය වන්නේ සමකාලීන දේශපාලන ප්‍රශ්න මෙන්ම සුවිශේෂී වූ  සමාජ නැඹුරුවක් ඒවායේ දක්නට ලැබීමයි. හෙතෙම දේශපාලන විවේචනයේදී නිතරම ප්‍රහසනය යොදා ගනී. එකල සමාජ දේශපාලන නැඹුරුවක් ඇති තවත් කවීන් සිටියද, මොහුගේ සුවිශේෂත්වය නම් ඉතාමත් සෘජුව රාජ්‍ය ප්‍රශ්න කරනු ලැබීමයි. මොහු වයස අවුරුදු 23 -24කාලයේදීම එනම් 80 දශකයේ පමණ ලියූ කවිවල එවක ජේ.ආර් ආණ්ඩුව සෘජුව ඉලක්ක කරගෙන තිබිණි. නිදසුනක් ලෙස Colombo 1981, Broken Promise, Gajagavannama, Rites of Passage ,Animal Crackers වැනි කාව්‍ය නිර්මාණ දැකිය හැකිය.

83 කළු ජූලිය සම්බන්ධවද, හෙතෙම ඉතා පරිණත ආකාරයෙන් කවියෙන් ප්‍රශ්න කර ඇත. එකල  වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන සිදුවීම  හා 83 භීෂණය අළලා මොහු Animal Crackers නම් කවිය ලියා ඇත්තේ 83 ජූලි වර්ගවාදී කෝලාහල උච්චතම වී තිබු දිනයන්හීය.  මෙම කවියෙන් එකල ජාතික ජාත්‍යන්තර වශයෙන් සමාජ ගත වූ මතය පවා ප්‍රශ්න කර තිබිණි. එනම් මෙම භීෂණය සිංහල – දෙමළ කෝලාහලයක් ලෙස සමාජ ගත වූ නමුදු මෙය සිංහල දෙමළ ප්‍රශ්නයක් නොවන බවත්, මෙය සචේතනාත්මකව ගොඩනැඟූ දේශපාලන අර්බුදයක් බවත් රිචඩ් ද සොයිසා ස්වකීය කවියෙන් ප්‍රකාශ කර තිබේ.

රිචඩ්ගේ කවියේ දේශපාලනය තුළ දේශපාලඥයන්ගේ නම් සෘජුවම ප්‍රකාශ නොකළත්, කිසියම් සංකේත භාවිතයකින්,  ව්‍යංගයෙන් කාව්‍යාත්මකව තොරතුරු ඉදිරිපත් කර ඇති බවක් පෙනෙයි. නිදසුන් ලෙස අලියා ලකුණ යොදා ගනිමින් පැවති දේශපාලන පක්ෂය විවේචනය කිරීම පෙන්වා දිය හැකිය. සමාජයට දැනෙන ව්‍යක්ත භාවයෙන් යුතුව හෙතෙම සමාජ දේශපාලන ප්‍රශ්න කවියෙන් සාකච්ඡා කර ඇත.

මූලාරම්භයේ  සීමිත අවකාශයක් මත ස්වකීය නිර්මාණයන්හි නිරත වී සිටි රිචඩ්, 80 දශකයේ ප්‍රධාන කතිකාවෙන් ඔබ්බට සමාජය දැකීමට උත්සුක විය. එහිදී සාටෝපවාදී පන්ති ගැටුම බොහෝ කවිවල විවේචනයට ලක් කිරීමටද, හෙතෙම පසුබට නොවීය. Talking About Michelangelo යන කවිය සමාජ හා පාන්තික සහකම්පනය විද්‍යමාන කරවූ එක් නිර්මාණයකි. තවද Lepidopterනම් ප්‍රසිද්ධ කවියද එවැනි ය.  එහි සිංහල අනුවාදනයන් කිහිපයක් ඇත. මේ එක් අනුවාදයකි.

 

“සිඳ දැමුණු පියාපතින් ද,
සුණු විසුණු වූ මනසින්ද යුතුව
පියඹා ආ ළපටි සමනල සිඟිත්ත,
මගේ පන්ති කාමරයට
මියැදුණි ආ විගස ම
කළ නොහැකි විය මා හට කිසිවක්, එම
අසරණයාට
නැවත ප්‍රාණය ලබා දීමට
එක් වරම ඇතිවන තිගැස්මක් පමණකි.
ප්‍රතීක චලනයක් විතරම ය…
මා හට ඉතිරිව ඇත්තේ සුසුම් හෙළීමට පමණි.
නුඹගේ මෘදු මොළොක් බව අත්විඳීමෙන් පසුව,
එහෙත් විහස ම, කාලයේ කුහුඹුවන් විසින්
ගෙන යාවි නුඹ ව පන්ති කාමරයෙන් ඈතට
අමතකභාවය නැමැති අන්ධකාරයට
ආයුබෝවන් පොඩිත්තෝ!
නුඹගේ කඩා වැටුණු ආත්මය රුකුල් කරගත්
ගරු කටයුතු පාලනය,
පෙන්වාවි නුඹ කියා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය
ඉගෙන ගත්තවුන්ගේ මහඟු නිදර්ශකය.”

මෙම කවිය තුළින් ලංකාවෙහි අධ්‍යාපන ක්‍රමය ගැන ඔහුගේ කියැවීම සංගෘහිත කර ඇත. එහිදී ලංකාවෙහි අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ගේ යම්කිසි සහජයෙන් එන අහිංසකත්වය විනාශ වී, නිර්මාණශීලිත්වය මොට කෙරෙන ස්වරූපය, සහජ උනන්දුව හීන වී යන අධ්‍යාපන ක්‍රමය සියුම් ලෙස චිත්‍රණය කර ඇත.

තවත් වරෙක රිචඩ් මෙසේද පවසා තිබේ.  ” ලෝකයේ තිබෙන ප්‍රශ්න ගැන සාහිත්‍ය උත්සව වැනි ඒවයින් කතා කළ නමුත් ඒවා සත්භාවයෙන් යුක්තව සිදු නොවන බව හා සමාජයෙහි ඇති සත්‍ය ප්‍රශ්නයන්ට දොරගුළු වසා ඇත” යන්නයි.

රිචඩ් පර්යේෂණාත්මක කවියෙකි. නිතරම කවියේ සාම්ප්‍රදායීකත්වයෙන් ඔබ්බට යාමට වෙර දරා ඇත. ඔහුගේ මෙම පර්යේෂණ තුළ ඇත්තේ සමාජ, දේශපාලන සන්දර්භයයි. ඊට අමතරව ඇත්තේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ ප්‍රේමය සම්බන්ධ කවිය. එලෙසම ඔහු  ක්ෂේත්‍ර ගණනාවක දෝලනය වූවෙකි. මාධ්‍යකරුවකු මෙන්ම නාට්‍ය පසුබිමක් හා සාහිත්‍ය ක්ෂේත්‍රයේද අත් නොහළ අයෙකි. මෙම සියලු ක්ෂේත්‍රයන්හි බලපෑම හා ආවේගය රිචඩ්ගේ කවියෙහි ගැබ්ව තිබුණි. එලෙසම  විවිධාකාර සමාජ කොටස් අතර හැසිරෙමින් සමාජ ක්‍රියාකාරීත්වයේ නියැළීම නිසාම කවිය තව තවත් පොහොසත් වන්නට ඇත. මානව අයිතිවාසිකම් ක්‍රියාධරයකු ලෙස  පොදු ජන සමාජයට කවියෙන් ආමන්ත්‍රණය කර ඇති ඔහුගෙන් සමාජයට ගත හැකි ආදර්ශය වන්නේ හෘද සාක්ෂියට එකඟව නිර්මාණකරණයේ යෙදීමයි.

✍  නිසංසලා කොට්ටගස්වත්ත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT