Home » ලුණු හිඟයෙන් කරවල නිෂ්පාදනයට දරුණු පහරක්

ලුණු හිඟයෙන් කරවල නිෂ්පාදනයට දරුණු පහරක්

-1500 ලුණු මිටිය දැන් 8000යි

by sachintha
February 18, 2025 2:02 am 0 comment

අපිට සහනයක් දෙන්න ව්‍යාපාරිකයෝ ඉල්ලති

පසුගිය කාලය පුරාවට පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ නැවති ගිය ලුණු නිෂ්පාදනය හේතුවෙන් මේ වන විට දරුණු පහරක් එල්ල වී ඇත්තේ තමන්ට බව කරවල කර්මාන්තයේ නිරතව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු හා මහා පරිමාණ ව්‍යාපාරිකයෝ පවසති.

ධීවර කර්මාන්තයෙන් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්නෙන් කොටසක් කරවල සඳහා යොදා ගැනෙන අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශය කරවල සඳහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. එමෙන්ම, කල්පිටිය අර්ධද්විපයෙ දුපත් සමූහය වන බත්තලන්ගුන්ඩුව, උච්චමුනේ, මොහොත්තුවාරම ඇතුළු දූපත්වල මෙන්ම පුත්තලම, මුන්දලම, උඩප්පුව, හලාවත, වෙන්නප්පුව ඇතුළු ධීවර කර්මාන්තය නිරත කලාපවලද සුළු හා මහා පරිමාණ වෙළෙන්දන් කරවල කර්මාන්තයේ යෙදෙති.

කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාතම අමුද්‍රව්‍ය වන ලුණු නොමැතිව කරවල සැකසීම රටපුරා සමස්ත කරවල නිෂ්පාදකයින් මුහුණපා ඇති පොදු ගැටලුවක් බවට පත්ව ඇති බව ද එම ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

රට තුළ ලුණු නිෂ්පාදනය නැවතී යාමත් සමඟ රටේ පරිභෝජනය හා තවත් කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණ ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය පියවර ගත්තද කරවල කර්මාන්තය සඳහා ලුණු ලබාදීමක් එයින් සිදු නොවීමත් සමඟ තමන් මහත් අසරණ තත්වයට මුහුණදී ඇති බව ඔවුහු පවසති.

රුපියල් 1200ත් 1500කට ආසන්න මුදලකටත් තිබූ ලුණු කිලෝ 50 මිටියක් මේ දිනවල රුපියල් 7000ක් හෝ 8000ක මුදලකට ලබා ගැනීමට සිදුවී ඇති බවද එම ව්‍යාපාරිකයෝ පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ කරවල නිෂ්පාදකයකු වන තොඩුවාවේ ඩබ්. සුරංග මහතා මෙසේ පැවසීය.

“ ඇත්තටම මම මාදැල් කරවල ඇතුළු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වෙන ව්‍යාපාරිකයෙක්. නමුත් අද අපි පුදුම විදිහට අසරණ වෙලා තියෙන්නේ ලුණු සොයා ගැනීමට නොහැකි නිසා. මේ දිනවල මාදැල්වලට හාල්මැස්සන් හා කීරමින් මත්ස්‍යයින් අහුවෙන කාලය. ඒ නිසා අපිට ලුණු අවශ්‍යතාවය උපරිමයි. මේ තත්වයට පසුගිය කාලයේ කාලගුණ තත්ත්වය තදින් බලපා තිබුණ බව තමා ඇත්ත කථාව. නැතිව මේ කිසිවකට ආණ්ඩුව වග කියන්න උවමනාවක් නැහැ. කරවල කරන්න ලුණු අනිවාර්යයෙන්ම උවමනායි.

ඒ නිසා අපි ඉල්ලන්නේ රජයෙන් මේ වන විට ඉන්දියාවෙන් ලුණු ගෙන්වන නිසා අපිට එම ලුණුවලින් යම් ප්‍රමාණයක් හරි ලබා දෙන්න කියලා, මොකද අපිට මේ කර්මාන්තය කරගෙන යන්න. එසේ නැතිව ගියොත් කරවල කර්මාන්තය නිසා ජීවත් වෙන ලංකාව පුරා ලක්ෂ ගණනක රැකියා වාගේම ව්‍යාපාරත් අහිමි වෙනවා.“

කරවල කර්මාන්තයෙ නිරත මුක්කුතොඩුවාව එල්.සී.ඒ.පෙරේරා මහතා මෙසේ පැවසීය.

“රටට හොඳම තත්වයෙ කරවල නිෂ්පාදනය කරලා දෙන ගමන් තවත් පිරිසකට රැකියා ලබා දෙමින් ඔවුන් පෝෂණය කරමින් අපි ලොකු සේවයක් කරමින් තමා මේ කර්මාන්තය කරගෙන යන්නේ. ඇත්තටම අපිට කරවල කරන්න යන වියදම් අඩු වෙන තරමට පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙනවා. නමුත් දැන් ලුණුවල දරා ගන්න බැරි මිලත් එක්ක අපි පුදුම විදිහට ගැටලු රැසකට මුහුණ පාන්න සිදු වෙලා. ලුණුවල මේ මිල එක්ක අපි කීයටද කරවල දෙන්නේ. ඇත්තටම ලොකු ගැටලුවක්. ඒ සඳහා කඩිනමින් මැදිහත් වෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ.“

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජීත් ගිහාන් මහතා‍ ද මේ පිළිබඳව අදහස් දැක්වීය.

“අපි මේ වන විට මෙම ප්‍රශ්නයට මැදිහත් විමක් කර තිබෙනවා. ඒ අනුව රටේ ලුණු අවශ්‍යතාවක් අනුව ගෙන ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු කළා. එහිදී කරවල නිෂ්පාදනයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ගැන අදාළ තොරතුරු ලබා දෙන්න කියලා අපි දැනුම්වත් කිරීම් කර තිබෙනවා. ඒ එක්කම එකවර ලුණු මිල අනවශ්‍ය අයුරින් ඉහළ යාම ගැනත්, එය පාලනය කළ යුතු ආකාරය ගැනත් අපි සොයා බලමින් සිටිනවා. ඒ නිසා කරවල නිෂ්පාදකයින් කිසිම ලෙසකින් අසරණ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.“

පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT