Home » අහංගම ශාරිපුත්‍ර මහා විදුහල 155 වැනි සංවත්සරයට අභිමානවත්ව සැරසෙයි

අහංගම ශාරිපුත්‍ර මහා විදුහල 155 වැනි සංවත්සරයට අභිමානවත්ව සැරසෙයි

by sachintha
February 18, 2025 3:01 am 0 comment

සෞන්දර්ය, ක්‍රීඩා ඇතුළු විෂය බාහිර බොහෝ දක්ෂතා පිරුණු දරුවන්ගෙන් සුසැදි මෙම විද්‍යාලය මේ දක්වාම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජාතික මට්ටම ඉක්මවා ලබා ගැනීමට සමත්ව ඇත. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව සෑම වසරකම දරුවන් 10ත් 20ත් අතර ප්‍රමාණයකින් සමත් වී තිබීම විශේෂත්වයකි.


ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර අභිමානවත් පාසලක් ලෙස සැලකෙන අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලය 2025 පෙබරවාරියේ වසර 155 සැමරීමට සූදානමින් සිටියි. ඉංග්‍රීසි ආණ්ඩු සමයෙහි වර්ෂ 1862දී කිතුනුවන් හා බෞද්ධයන් අතර සිදු කරන ලද ප්‍රසිද්ධ වාදයන් අතර බද්දේගම වාදයට හිමි වන්නේ වැදගත් තැනකි. බද්දේගම වාදයෙන් උද්දාමයට පත් වූ බෞද්ධයෝ පහතරට බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් දොඩන්දූවේ පියරතන තිස්ස නාහිමියෝ පහතරට බෞද්ධ පාසල් 5ක් ආරම්භ කළහ. ඒ අතරින් අහංගම ශාරිපුත්‍ර විද්‍යාලය ද එකකි.

ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය පිහිටවූ බුලත්ගම ධම්මාලංකාර නාහිමියන්ගේ ඇරයුමෙන් දොඩන්දූවේ පියරතන තිස්ස නාහිමියන් විසින් අහංගම හතුවා පියදිගම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ එච්.ආර්.එච්. අල්විස් හෙවත් බබාසිඤ්ඤෝ මුදලාලිගේ ධන පරිත්‍යාගයෙන් අහංගම හාතපැලෑණේ පැරැණි අම්බලම තිබූ ස්ථානයේ පොල් අතු මඩුවකින් හතුවා පියදිගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යනුවෙන් පාසලක් ආරම්භ කළේ 1870 දීය. කළමනාකරු වූයේ එච්. ආර්.එච්. අල්විස් මහතාය. වසර 18ක් එම භූමියේ පවත්වාගෙන ගිය පාඨශාලාවේ ප්‍රථම විදුහල්පති ලෙස ජී.ටී. කාරියවසම් මහතා හෙවත් ‘මග්ගොන මහත්මා’ කටයුතු කර ඇත. සිසුන් 17 දෙනකුගෙන් සහ ගුරුවරු දෙදෙනකුගෙන් ආරම්භ කළ මෙම විද්‍යාලයට 1889 දී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් ස්ථිර ගොඩනැඟිල්ලක් සඳහා මුල්ගල් තබා ඇත. අවුරුදු 40කට වඩා කාල සීමාවක් කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේ බබා සිඤ්ඤෝ මුදලාලි මහතාය.

1866 ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව යටතේ ආධාර ලබන පාසලක් ලෙස මෙය ලියාපදිංචි කර ඇත්තේ වර්ෂ 1900දී පමණය. හතුවා පියදිගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව වර්ෂ 1918න් පසු හතුවා පියදිගම ශාරිපුත්‍ර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස නම් තබා තිබේ. සිසුන් 500කට අධික ප්‍රමාණයක් ඒ වන විට අධ්‍යාපනය ලබා ඇති මෙම විද්‍යාලයෙහි 1920 දශකය වන විට රජයේ සේවයට පමණක්ම ආදි සිසුන් 180ක් ඇතුළත් වී ඇති බව විදුහල්පති සටහන් මඟින් සනාථ වී තිබේ. 1930 දී ගුරු මණ්ඩලය 12ක් පමණ වී ඇත. රාජ්‍යමන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා විසින් වාර්ෂික ත්‍යාග ප්‍රදානය සිදු කර තිබේ. 1934 සිට 1960 දක්වා පාසල පාලනය කර ඇත්තේ යුගයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ලෙස ජනප්‍රියව සිටි යූ.කේ.ජේ. ද සිල්වා මැතිතුමාය. එතුමා 1952 වසරේ එංගලන්ත මහ රැජනගේ ලංකා සංචාරයේදී ඡායාරූප ශිල්පියා ලෙස ද කටයුතු කර තිබේ.

1934 සිට 1960 දක්වා කාලය අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ දියුණුම යුගයක් ලෙස සැලකේ. නූතන ක්‍රීඩා රාශියක්, වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව හා අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමට කළමනාකාරතුමා විසින් කටයුතු කරනු ලැබ තිබිණ. එම යුගයේ යූ.කේ.එස්. ආරියරත්න මහතා විදුහල්පති ධුරයට පත්ව තිබූ අතර, එතුමා හෙළ හවුලේ Òධම්මඛන්ධÓ රන් සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රසිද්ධ උගතෙක් විය. වර්තමාන පාසල් ගීතයේ නිර්මාතෘවරයා ද එතුමා වේ. 1939දී හෙළ හවුලේ සංවත්සරික උත්සවය පවත්වා ඇත්තේ සංගීත විශාරද සුනිල් ශාන්ත මහතාගේ සහ පී.එල්.ඒ. සෝමපාල මහතා සහ චිත්‍රා සෝමපාල මහත්මියගේ ද සහභාගීත්වයෙනි. 1957දී මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් විසින් වජිරඤාණ පුස්තකාලය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබ තිබිණි. මෙම යුගයේ ශාරිපුත්‍ර නමින් දහම් පාසලක් පවත්වා ඇත්තේ බදාදා දිනයේදීය. කම්කරු උප ඇමැතිව සිටි හබරාදූව ඩී.එස්. ගුණසේකර ඇමැතිතුමා විසින් හබරාදූව මාණ්ඩලික පුස්තකාලය පිහිටුවනු ලැබ තිබුණේ ද අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේය.

1960දී කළමනාකාරතුමා විසින් රජයේ පාලනයට පාසල භාර දුන්න ද රජය විසින් නිල වශයෙන් භාරගෙන ඇත්තේ 1962දීය. 1963දී මහා විද්‍යාලයක් ලෙස උසස් කරන ලද මෙම විද්‍යාලය 1967දී උසස් පෙළ කලා හා වාණිජ පන්ති ආරම්භ කොට තිබේ. 1972 දී උසස් පෙළ විද්‍යා පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලැබී තිබිණි. 1970 දී පළමු උපාධිධාරියා බිහිකළ මෙම විද්‍යාලය එතැන් සිට මේ දක්වා උසස් පෙළ සෑම වසරකම විශ්වවිද්‍යාලය සඳහා සිසුන් යොමු කරන පාසලක් බවට පත්ව තිබේ. ප්‍රථම අභ්‍යවකාශගාමියා ලෙස සැලකෙන රුසියානු ජාතික යූරි ගගාරින් මහතාගේ ලංකා සංචාරයේදී එතුමා පිළිගැනීමට ලක්කළ පාසල් අතර අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයට ද ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.

1962දී විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා අතින් රන් සම්මාන ලබා ගත් ශිෂ්‍යයන් ද මෙම පාසලේ සිට ඇත. 1972 ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ පී.ජී. රංජිත් කුමාරරත්න මහතා 1997 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගයේදී රන් සම්මානයක් ලංකාවට හිමිකරදීම විද්‍යාලයට ද කීර්තියක් වී තිබේ. 1999 සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ රන් සම්මානයක් ලබා ගැනීමට විද්‍යාලයීය ශිෂ්‍යාවක වූ ඉරේෂා මධුවන්ති ශිෂ්‍යාව සමත් වී ඇති අතර, 2010 වසරේදී සමස්ත ලංකා බොක්සිං සංගමයේ සභාපති ධුරයද අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයට හිමිව තිබිණි.

2010 සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය මෙම විද්‍යාලයේදී පවත්වා ඇත. 1969 සිට 1972 දක්වා අඛණ්ඩව ගාලු දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවය දිනාගත්, අහංගම ශාරිපුත්‍ර කණ්ඩායම, 1986,1987 වසරවල ද එම සමත්කම දක්වා තිබේ. නැවත 2016 වර්ෂයේදී සමස්ත ලංකා වොලිබෝල් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණු අතර, එහිදී හතර වන ස්ථානය දිනාගෙන ඇත.

වර්තමානයේ 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 2,000කට ආසන්න වේ. සමාන්තර පන්ති 4ක් ලෙස පැවැත්වෙන මෙම විද්‍යාලයේ ගුරු මණ්ඩලය 72ක් වන අතර, අනධ්‍යයන සේවකයෝ ද 13ක් පමණ සිටිති. විදුහල්පති වශයෙන් කටයුතු කරන්නේ, සී.එන්.ඩබ්ලිව්. ගුණරත්න මහතා වන අතර නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස දිල්හානි රයිගම මහත්මියත්, සහකාර විදුහල්පතිවරියන් ලෙස ජයමාලී ප්‍රියදර්ශනී මහත්මිය හා නයනා විතානගේ මහත්මියත් කටයුතු කරති. සෞන්දර්ය, ක්‍රීඩා ඇතුළු විෂය බාහිර බොහෝ දක්ෂතා පිරුණු දරුවන්ගෙන් සුසැඳි මෙම විද්‍යාලය මේ දක්වාම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ජාතික මට්ටම ඉක්මවා ලබා ගැනීමට සමත්ව ඇත. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව සෑම වසරකම දරුවන් 10ත් 20ත් අතර ප්‍රමාණයකින් සමත් වී තිබීම විශේෂත්වයකි.

විද්‍යා විෂය සම්බන්ධ නව නිපැයුම් තරගාවලියේ අංශ දෙකකින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගැනීමට ද මෙම විද්‍යාලයේ දරුවන් සමත් වී තිබේ. පරිසර භට, ශිෂ්‍ය භට, බාල දක්ෂ කණ්ඩායම් සාර්ථකව ක්‍රියාත්මක වන අතර, පාසල් තූර්ය වාදක කණ්ඩ දෙකක් පෙරදිග හා බටහිර යනුවෙන් ක්‍රියාත්මකව පවතී. සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව ද මෙම විද්‍යාලයේ ක්‍රියාත්මකව පවතී. හබරාදූව මණ්ඩලයේ පාසල්වල දරුවන්ගේ දන්ත සෞඛ්‍ය වර්ධනය සඳහා දන්ත චිකිත්සාගාරයක් සහිත පාසලක් වන මෙම විද්‍යාලයෙහි ශ්‍රවණාබාධිත දරුවන් සඳහා ද විශේෂ පංතියක් පවත්වාගෙන යයි. එහි ගුරුවරුන් තිදෙනකු මේ වන විට සේවය කරන අතර, දරුවන් 12 දෙනෙක් පමණ එහි අධ්‍යාපනය ලබති.

සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත් වූ මෙම විද්‍යාලය නැවත ගොඩනැඟීමේ ගෞරවය හිමිවන්නේ බෙල්ජියම් අධ්‍යාපන ජාත්‍යන්තරයටය. පෙර පැවැති පුස්තකාලය අභාවයට ගිය නිසා අමෙරිකාවේ වැඩ වාසය කරන අහංගම ධම්මාරාම නාහිමියන්ගේ මැදිහත්වීමෙන් ගිරිගෝරිස් අනුස්මරණ දෙමහල් පුස්තකාලය ඉදිකොට දී තිබේ. පැරණි විද්‍යාගාරය වෙනුවට නව විද්‍යාගාර කාමරයක් ක්‍රියාත්මක වුවද උසස් පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා විද්‍යාගාරයක අඩුපාඩුව පවතී. 78 වැනි මහපොළ පවත්වා ඇති මෙම විද්‍යාලයේ එවකට ඉදිකර තිබූ රැස්වීම් ශාලාවක් දක්නට ලැබුණ ද එය ප්‍රමාණවත් නොවේ.

ප්‍රධාන රැස්වීම් ශාලාවක අඩුපාඩුව ද මෙම විද්‍යාලයේ දක්නට ලැබෙන ප්‍රධාන අඩුපාඩුවලින් එකකි. අඩු ආදායම්ලාභී හා මැදි ආදායම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයෙන් කීර්තිමත් වෛද්‍යවරුන්, නීතිවේදීන් ව්‍යාපාරිකයන් ආදී විවිධ අංශ නියෝජනය කරන පිරිසක් බිහිවී තිබේ. සියලු දෙනාගේම සහයෝගයෙන් වසර 155ක අභිමානවත් සංවත්සරය සැමරීමට වර්තමාන විදුහල්පතිවරයා කටයුතු කරමින් සිටී. අවුරුදු එකසිය පනස් පහක ශාරිපුත්‍ර විද්‍යාලයේ ඉතිහාසය Òසැරියුත් වංශයÓ නමින් ග්‍රන්ථාරූඪ කරන ලද්දේ විද්‍යාලයේ ආචාර්ය එච්.එම්. තරංග මහතා විසිනි. එතුමා විසින් නිර්මාණය කරන ලද “සැරියුත් වංශය” කෘතිය දොරට වැඩීමේ උලෙළ Ò155 සැරියුත් වංශය දෙටු ඇදුරු දෝතටÓ යනුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරු එකසිය පස් දෙනකු වෙනුවෙන් උපහාර දැක්වීමත්, ආදී ශිෂ්‍යයන් වෙනුවෙන් උපහාර දැක්වීමත්, 155 වැනි සැරියුත් සංවත්සරයත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ටී.පී. වීරරත්න යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය උගතුන්ගේ සහ විශාරද නන්දා මාලනී, විශාරද ඉන්දිකා උපමාලි ඇතුළු කලාකරුවන්ගේ ද දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ආදි ශිෂ්‍ය ඉන්දික සම්පත් සමරකෝන් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ ද ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් හා විද්‍යාලයේ දූ දරුවන්, මවුපියන්, ප්‍රදේශවාසීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 22 වැනි දින උදේ 10.00ට පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

තවත් සියවස් ගණනාවක් රටේ, සමාජයේ දියුණුවට හේතු වන දූ දරුවන් රටට දායාද කරන තෝතැන්නක් ලෙස අහංගම ශාරිපුත්‍ර විද්‍යාලය මෙහෙයවීමේ වගකීම වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ආදි ශිෂ්‍යයන් වෙතත් පැවරී තිබේ.

(මෙම ලිපිය සැකසීමට සහාය දුන් විදුහලේ ආචාර්ය එච්.එම්. තරංග සහ විදුහලේ ආදි ශිෂ්‍ය අනුර පත්මසිරි යන මහත්වරුන්ට ස්තුතිය පුද කරමි.)


සටහන

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT