රටක ආර්ථිකයක සියලු අංශ ආවරණය කර ගනිමින් ප්‍රතිලාභ සහ සහන ලබා දෙන පරිපූර්ණ අය – වැයක් ඉදිරිපත් කිරීම ඉතා අපහසු කාර්යයකි.
එනමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවේ 2025 වර්ෂය සඳහා මංගල අය – වැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස ඊයේ (17) දා ඉදිරිපත් කළේය. මෙරට 79 වැනි අය – වැය ලෙස එහි සියලු අංශ ආවරණය කරමින් කෙටි, මැදි සහ දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් මෙරටට අත්පත් කරදීමේ මනා යෝජනා රැසක් ද ඇතුළත් විය.
මෙවර අය – වැයෙහි අප දකින ප්‍රධානම ජනතා බලාපොරොත්තු ඉටු කිරීම එක් එක් තලවල පිරිස් ගෙන් විමසුවහොත් එක් එක් පිළිතුරු ලැබෙනු ඇත. පොදුවේ ගත් කළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාම දීමනා ඉහළ දැමීම ඉතා සුබවාදී සේම අවිවාදිත කරුණකි.
ඊට අමතරව ශ්‍රී ලංකාව සමාජ ආර්ථික වෙළෙඳෙපොළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරියට ගමන් ගන්නා රටක් බවට ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබීම අය – වැයෙහි දැකිය හැකි සාධනීය ලක්ෂණයකි. එපමණක් නොව ශ්‍රී ලංකා ආර්ථිකය ආර්ථික මූල ධර්ම මත පදනම්ව ඉදිරියට ගෙන යන බවට ජනපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම වැදගත් කරුණකි.
රටේ සහන ඇවැසි ජන කොටස වෙත ඉතා ඉහළ අවධානයක් යොමු කොට තිබීම පැසසිය යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ දුප්පත්කම, විරැකියාව, ආදායම් බෙදීයාමේ විෂමතාවය, පසුගාමී පළාත් සංවර්ධනය සඳහා වූ යෝජනා අය – වැයෙන් ඉදිරිපත් කර තිබීම ඉතා කාලෝචිතය.
රජයේ නව රැකියා 30000ක් ලබා දීමට කටයුතු කිරීම, උගත් තරුණ පෙළට කළ දිරි දීමකි. රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කොට තිබිම කැපී පෙනෙන කරුණකි. පහ වසර ශිෂ්‍යත්ව ලාභියාගේ ශිෂ්‍යාධාරය වැඩි කිරීමේ සිට, වෘත්තීය අධ්‍යාපනය දරුවාගේ දීමනා, මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම, වකුගඩු නිදන්ගත රෝග දීමනා වැඩි කිරීම, වැඩිහිටි සුබ සාධනය උදෙසා විශේෂයෙන් බලපාන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පොලී අනුපාත වැඩි කිරීම ඉතා ධනාත්මක යෝජනාවේ.
රජය මෙවර අය – වැයෙන් රටේ වාර්ෂිකව 5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂාවෙන් යෝජනා ඉදිරිපත් කළ අතර එය සාක්ෂාත් කර ගැනීමේදී රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පමණක් නොව අවශ්‍ය අවස්ථාවන්හීදී පෞද්ගලික අංශයෙහි ඍජු මැදිහත්වීම මත ආයෝජන කලාප ඇති කිරීම වැනි නව යෝජනා ඉදිරිපත් කර තිබීම සැමගේ ප්‍රසාදයට හේතුවී තිබේ.
ආර්ථික වැඩපිළිවෙළ
නව දෙස් විදෙස් සෘජු ආයෝජන වැඩි කිරීමේදී අල්ලස දූෂණය නාස්තිය පිටු දැකිය යුතු බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. ඒ අනුව යමින් නව ව්‍යාපෘති ගෙන ඒමේදී කිසිදු අල්ලසකින් හෝ අතයට ගනුදෙනුවකින් තොරව ඕනෑම කෙනෙකුට පිරිසිදු ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීම අගය කළ යුතුය. ආයෝජකයින්ගේ පහසුව සඳහා හැකි තරම් යටිතල පහසුකම් දියුණු කිරීම සහ අවසර සහ අනුමැතීන් ලබාගැනීමේ දිගු කාලීන ක්‍රමවේදයන් සරල කොට ඒවා කාර්යක්ෂම කිරීමට යාන්ත්‍රණයක් සකස් කරන බවට යෝජනා කිරීම ඉතා වැදගත් වූවකි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලධර්ම මත ගමන් කිරීමක් මෙතෙක් දුරට සාර්ථකව සිදුවූවේදැයි සැකයක් පවතී. එවැනි සැක සංකා දුරු කරමින් ඕනෑම ආයෝජකයෙකුට පැහැදිලි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට ගමන් කරන විට ආයෝජන සිදු කිරීමට විශ්වාසනීයත්වය ගොඩනැඟේ. එලෙස විශ්වාසනීයත්වය ගොඩනැඟෙන ආර්ථික පසුබිමක් ලොව ඕනෑම රටක ආර්ථික දියුණුවේ ගාමක බලවේගයක් වන බව නොරහසකි. එපමණක් නොව දිනෙන් දින වෙනස් නොවන බදු ප්‍රතිපත්ති, බදු දිරීදීම් තිබේනම් එම රටවල් දියුණුව කරා ළඟා වේ. ඒනයින් සලකා බලන කළ වසර 2025 සඳහාවූ මෙවර අය – වැයෙන් රජය ඒ සඳහා අඩිතාලම දමා ඇත.
මීට අමතරව රජය වෙළෙඳපොළ නියාමනය සඳහා කටයුතු කරන බවට ප්‍රකාශ කිරීම අය – වැයට එක් කළේ ආලෝකයකි. වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වීමට ඉඩ හැර තරගකාරීත්වයක් ඇති කිරීම ව්‍යාපාරික සහ පාරිභෝගික දෙපිරිසටම පොදුවේ එකසේ ජයග්‍රහණ හිමිවන ක්‍රමවේදයකි. ඒ අනුව අවශ්‍ය තැන්හීදී දෙපිරිසටම වාසි දායක ලෙස වෙළෙඳපොළ නියාමනය සිදු කිරීමට රජය කටයුතු කළ හොත් කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවේ. එය වී ගොවියාගේ සිට සහල් පාරිභෝගිකයා දක්වා දෙපිරිසටම සහන සැලසෙන එකක් ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි උදාහරණයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.
නවෝත්පාදන සොයා
මේ ආකාරයට වෙළෙඳපොළ නියාමනය තුළින් අනවශ්‍ය ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම් පාලනය කිරීමට රජය කටයුතු කිරීම පොදු ජනතාව ලැබූ ලොකු අස්වැසිල්ලකි.
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික සංවර්ධනයට අවශ්‍යම කරන කරුණක් වනුයේ අපගේ අපනයන ආදායම් විශාල ලෙස ඉහළ දමා ගැනීමය. මෙතෙක් කලක් ඒ සඳහා නිසියාකාර අවධානයක් යොමු කළේ දැයි සැක සහිතය. මෙම සැකය දුරු කිරීමට මෙවර අය – වැයෙන් පියවර ගෙන ඇත. ඒ වසර 2025/2029 සඳහා වූ ජාතික අපනයන වැඩපිළිවෙළක් හඳුන්වාදීමය. මෙම වැඩපිළිවෙළට අනුගත වෙමින් මෙම වසරේදී අපනයනකරුවන් දිරි ගැන්වීමට රජය කටයුතු කරනු ඇත.
උසස් තත්ත්වයේ සහ ප්‍රමිතිගත අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ දී අය කරනු ලබන තීරු බදු පිළිබඳව දැනට පවතිනුයේ දුබලතා සහිත පිළිවෙතකි. ඒ වෙනුවට ඉතා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නව තීරු බදු තීරණය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ඇත. මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් ඉලක්ක කොට ඇත.
ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ නව සොයා ගැනීම් ගණනාවක් සෑම වසරකම සිදු කරයි. නමුත් ඒවා වානිජ ව්‍යාපාර බවට පත්ව ආර්ථික දායකත්වයට යොමු කර ගැනීමක් හරියාකාරව සිදුවී නැත. මෙම දුබලතාවය මඟ හරවාලීමට මෙවර අය – වැයෙන් පියවර ගෙන තිබේ. ඒ අනුව නවෝත්පාදන නව සොයා ගැනීම්, වානිජ කරණ ව්‍යාපෘති බවට පත් කිරීමට අය – වැයෙන් බල ගන්වා ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල්කරණය වූ නව ලොවක් වෙත රැගෙන යාමට මග පාදන පළමු කටයුත්ත ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමය. වසර 2012 සිට එම කටයුතු ආරම්භ කොට තිබුණත් තවමත් අවසානයක් කරා පැමිණ නැත. මෙම වසරේ අය – වැයෙන් ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ඩිජිටල් හැඳුනුම්පත ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු කරන බව අය – වැයෙන් යෝජනා කොට ඇත.
රජය දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් අපේක්ෂාවෙන් මෙවර පවතින අණ පනත් සහ නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට සහ සංශෝධනය කිරීමට අය – වැයෙන් යෝජනා කළේය. ඒ අනුව ආර්ථික සංවර්ධන පනතට සංශෝධන ගෙන ඒම කළ යුතුම එකකි. එපමණක් නොව නව රේගු පනතක් හඳුන්වා දීම කළ යුතු දෙයකි.
ශ්‍රී ලංකාව වසර 2028 සිට දැනට අත්හිටුවා තිබෙන දෙස් විදෙස් ණය වාරික හා පොලිය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුය. එලෙස ණය ගෙවීම සඳහා පූර්ව සූදානම් වීමට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලය මනාව මූල්‍ය කළමනාකරණය කර ගැනීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස රටට ඊයේ (17) ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය තුළ ජනාධිපතිවරයා බලාපොරොත්තු වනුයේ වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා අඛණ්ඩව සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ලෙස රටේ ආර්ථිකය වසරින් වසර දියුණු කිරීමය. මෙහිදී දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම්, වත්කම්, මානව සම්පත මනාව වැඩි දියුණු කොට කටයුතු කිරීමට ඉලක්ක කොට ඇත. අය වැය හරහා නව තරුණ කෘෂි ව්‍යවසායකයින් පිරිසක් බිහි කිරීම, නවීන තාක්ෂණික ලෝකය ජය ගැනීමට සමත් ලොව ඉහළ වැටුප් ලබන රැකියා බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ආරම්භ කරනු ඇත. ඒවාට දිරි දෙනු ඇත. එය මෙවර නව රජයේ අය වැයෙන් ජනතා බලාපොරොත්තුවූ ප්‍රමුඛ කාර්යයක් ඉටු කිරීමක් බදුය.
මෙවර අය – වැය මුහුණ දුන් අභියෝග ජනපතිවරයා මුලින් පැහැදිලි කළේය. එලෙස කටයුතු කළේ සීමිත සම්පත්වලින් අසීමිත වුවමනාවන් සපුරාලීමට මනා කළමනාකරණයක්, මූල්‍ය විනයක් ඇති කළ යුතු බව ජාතියට අවධාරණය කිරීම සඳහාය.
වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා රට ගමන් කරවීමට නම් අපට ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් තිබිය යුතුමය. නමුත් ජනපතිවරයා මෙවර ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ගැන පමණක් අවධානය යොමු කළා දැයි සමාජයේ කතිකාවක් ඇති වීමට පුළුවන. එවැනි තැනකට සමාජය යොමු නොවන තැනට වග බලා ගැනීමට කටයුතු කළා නම් වටිනා බව කිව යුතුය.
රාජ්‍ය ව්‍යවසායන් මේ වන විට රජයට යම් තරමකට නොව දැනෙන තරමට බරවා රෝගී තත්ත්වයන් මෙන් බරපතළ වැය බරක් බවට පත්ව ඇත. එවැනි රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් රජය මෙවර අය වැයෙන් දැඩි තීන්දු තීරණ ගෙන කටයුතු කරනු ඇතැයි මධ්‍යස්ථ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දරන්නෝ අපේක්ෂා කළහ. නමුත් ඒ ආකාරයට දැඩි තීන්දු තීරණ ගැනීමක් සිදු නොවුණද රාජ්‍ය ව්‍යවසායන්ගේ ප්‍රතිසංස්කරණයන් වහා සිදු කළ යුතු බවට ජනපතිවරයා අවධාරණය කර තිබීමද යහපත් තත්ත්වයකි.
මධ්‍ය පරිමාණ ව්‍යාපාර
රටේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශ තුනම එක ලෙස පෙරට තල්ලු කර සමස්ත ආර්ථික සංවර්ධනය ඇති කිරීම අය වැයේ යෝජනා සියල්ලගේම අපේක්ෂාව වී ඇත. මේ ආකාරයට සියලු අංශ එක ලෙස ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන අතර ආර්ථික සංවර්ධනයේ කොදු නාරටිය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය හඳුනා ගැනිම අගය කළ යුතුය.
රාජ්‍ය වියදම් කළමනාකරණය යටතේ රජයේ වාහන සඳහා වියදම් අවම කිරීම, රජයේ ආයතන විධිමත් සහ කාර්යක්ෂම කිරීම, කාන්තා ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීමට කළ යෝජනා සමාජයේ කතාබහට ලක්වූ දේවල්ය.
පෙර පාසල් ළමුන්ගේ පෝෂණයේ සිට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීම, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳවද අවධානය යොමු කිරීම අය වැයෙන් අප දුටු මානුෂීය පැතිකඩකි. සැමට අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් කටයුතු කරන අතර බල ශක්ති, ආහාර සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීම, වාරි මාර්ග සංවර්ධනය, වැවිලි අංශ නාවෝදය, ධිවර ප්‍රජාව අමතක නොකිරීම කැපී පෙනෙන කරුණකි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ උන්නතිය ඇති කිරීම, මතින් තොර සමාජයක් බිහි කිරීම, වරදකරුවන් වූ සිරකරුවන්ගේ නිපුණතා සංවර්ධනය ඇති කිරීම, බස් දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීම සඳහා කළ යෝජනා අගනා ඒවා වේ. ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම අය – වැයේ ඉහළ ප්‍රමුඛතාවයක් දුන් කරුණකි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන, ඝන අප ද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන, අලි මිනිස් ගැටුම අවම කිරීම සහ වන සංරක්ෂණය ගැනද අය – වැයෙන් අවධානය යොමු කොට ඇත. මේ සියල්ල සිදු කරන අතර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති රාමුව ඇතුළත කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සංහිඳියාවෙන් යුතු ශ්‍රී ලංකාවක් සඳහා දැක්මක් ඉදිරිපත් කොට ඇත. එය ශ්‍රී ලාංකික දිනය නැමැති ජාතික උත්සවයක් පවත්වා ඉදිරියටම ක්‍රියාත්මක කිරීමට සැමගේ සහභාගිත්වය ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව අය – වැය කතාව තුළ යෝජනා කිරීම මේ මොහොතේ ලාංකික ඔබ අප සියලු දෙනා ලැබූ සුබ පණිවිඩයක්ම වනු නොඅනුමානය.
(මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය)
ජයසිරි මුණසිංහ