ඇත්තටම වී අස්වනු නෙළන කාලෙදි වැස්ස පටන් ගන්නවා. ඒ නිසා වී ටික සංරක්ෂණය වෙන්නේ නෑ. එක්කෝ පාරේ දැම්මා, වේළගත්තා. ඒත් දැන් පාරෙ වී වේළන්න දෙන්නෙත් නෑ. මේ නිසා ගොවියො බලන්නේ රු. 80ට හරි වී ටික විකුණන්න. ගොවියට කන්න වෙන්නෙත් කඩෙන් හාල් අරන්.
ලෝකයේ බදු ආර්ථික ප්‍රතිපත්ති මත දියුණු වූ රටවල් නැත. නව නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් එක් කර ගනිමින් නිෂ්පාදන ආර්ථිකය ප්‍රගුණ කළ රටවල් සංවර්ධිත රටවල් බවට පත්ව ඇත. ඉන්දියාව හා චීනය වැනි රටවල් ඊට හොඳ උදාහරණය. එසේ නම් අප රටේ නව නිර්මාණකරුවන් මෙන්ම ව්‍යවසායකයන්ට ද ප්‍රමුඛස්ථානයක් දීම වැදගත්ය.
තම නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම ව්‍යවසායකයන්ට ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස හැඳින්විය හැකිය. එම යන්ත්‍ර සූත්‍ර පිටරටවලින් ගෙන්වන්නේ නම් ඊට ද වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. ඇතැම් යන්ත්‍ර සූත්‍ර මහා පරිමාණ කර්මාන්තශාලා ඉලක්ක කරමින් නිෂ්පාදනය කිරීම හේතුවෙන් ඒවා ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට මිල දී ගැනීමට නොහැකි වී තිබේ. මෙවර ‘විස්කම්’ වෙතින් කියන්නට යන්නේ ඕනෑම ව්‍යවසායකයකුට පහසුවෙන් මිල දී ගත හැකි යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනා තරුණයකු ගැනය. නමින් රන්දුනු බණ්ඩාර වන මොහු පදිංචිව සිටින්නේ ඇළහැර අත්තනකඩවලය.
කුඩා කල සිටම නව නිර්මාණකරුවකු ලෙස දස්කම් දක්වා ඇති රන්දුනු බණ්ඩාරගේ හැකියාවන් ගුරුවරුන් හඳුනා ගන්නේ අත්තනකඩවල මහා විද්‍යාලයේ එවකට පැවති නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙනි.
ඒ ගැන රන්දුනු මෙසේ සඳහන් කරයි.
“ඇත්තටම මම අවුරුදු 12 වගේ ඉඳන් නව නිර්මාණකරුවෙක්. එවකට හිටපු ඒකනායක බණ්ඩා කියන විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් තමයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසමක් පිහිටුවන්නේ. අපේ ඉස්කෝලේ හිටපු සී.ටී. රත්නායක කියලා ගුරුවරයා තමයි අපේ දස්කම් හඳුනා ගන්නේ. එදා තමයි මම දැනගන්නේ මමත් නව නිර්මාණකරුවෙක් කියලා. එදා ආරම්භ කරපු කොමිසම තමයි අද මාව මෙතනට ගේන්න හේතු වුණේ. ඒත් කියන්න දුකයි, දැනට මේ පැතිවල පාසල් මට්ටමින් කරගෙන ආපු නව නිපැයුම්කරුවන් තෝරන වැඩසටහන නැවතිලා. යළිත් ඒ වගේ වැඩසටහන් ආරම්භ කරන්න පුළුවන්නම් දක්ෂයෝ බිහිවෙයි.”
නව නිර්මාණකරුවා, නව උත්පාදනකරුවකු වූ විට ඔහුව ව්‍යවසායකයකු ලෙස හැඳින්විය හැකිය. එම ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. එසේ නොවේ නම් මෙරට නව නිර්මාණකරුවන්ගෙන් පලක් නැත. රන්දුනු මෙම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත්තේ මීට අවුරුදු 10කට පමණ පෙරය. ඒ පුංචි වැඩපොළක් ලෙසය. වර්තමානයේ ඔහු විසින් යන්ත්‍ර සූත්‍ර 25ක් පමණ නිෂ්පාදනය කර ඉන් කිහිපයක් පිටරටවලට ද යැවීමට සමත් වී තිබේ.
“අපි ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්තය, ඉදිකිරීම් සහ ස්වයං රැකියා කියන ක්ෂේත්‍රවලට මැෂින් නිෂ්පාදනය කරල තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව ආකාරයේ බ්ලොක් ගල් මැෂින් 6ක් පමණ නිෂ්පාදනය කරල තියෙනවා. කෘෂිකර්මාන්තයට රටකජු පියලි කරන මැෂිම, වී තම්බන බොයිලේරු වර්ග, බීජ ඇට සිටුවීම, වී තැම්බීමේ සහ වේළීමේ මැෂින් කිහිපයක්ම දැනට හදල තියෙනවා.
පතල් කර්මාන්තය තමයි මං කැමතිම පැත්ත. ඉතින් පතල් කර්මාන්තය වෙනුවෙන් මැෂින් 6ක් පමණ මම නිෂ්පාදනය කරල තියෙනවා. විශේෂත්වය තමයි ඒ මැෂින් පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යාමට හැකි වීම. මැණික් ගැරීමට අපි විශේෂයෙන්ම කම්බයින්ඩ් කියල මැෂින් එකක් හදලා තියෙනවා. ඒක ලෝකෙම පළමුවැනි වතාවට අපි තමයි හදල තියෙන්නේ. ඒකේ විශේෂත්වය කිලෝ 3000ක් – 4000ක් පමණ බරට කෑලි කෑලි එකතු කරපු මැෂින් එකක් කිලෝ 450ක බරකට නිෂ්පාදනය කිරීම. එතනදි අපිට අඩු පිරිවැයකින් මේ කම්බයින්ඩ් මැෂින් එක හදන්න පුළුවන් වෙලා තියෙන නිසා සාධාරණ ගාණකට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේකෙ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය තනි එන්ජිමකින් සිදු වෙන්නේ. ඒ නිසා ඉන්ධන පිරිවැයත් අඩුයි. ස්වයං රැකියාවලට පිටි හලන යන්ත්‍ර, බයිට් වර්ග හදන මැෂින් කිහිපයක් හදල තියෙනවා.
අපි හදන හැම මැෂින් එකක්ම පොඩි ව්‍යවසායකයකුට පවා පහසුවෙන් මිල දී ගන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. මොකද එයාලට කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරයට ලොකු යන්ත්‍ර සූත්‍ර ගන්න බෑ. හොඳම උදාහරණය තමයි කිලෝ 400ක් බර බ්ලොක් ගල් මැෂින් එක මම කිලෝ 10 බරට හැදුවා. ඉතින් එතනදි යකඩවලට යන පිරිවැය අඩු නිසා සාධාරණ ගාණකට විකුණන්නත් පුළුවන්. මේ බ්ලොක් ගල් මැෂින් වැඩි වශයෙන් කාන්තාවන් ස්වයං රැකියා සඳහාත් දැන් අරගෙන යනවා.”
මෙවැනි නව නිර්මාණකරුවන් අප රටට සම්පත්ය. විවිධ රටවලින් වැඩි මිලකට මැෂින් ගෙන්වීමට සිදුව ඇත්තේ අප රට තුළ ඒවා නිෂ්පාදනය නොකරන නිසාය. එසේ නම් රන්දුනු වැනි ව්‍යවසායකයන් යොදා ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ද දැන් හැකියාව ඇත. දැනට රන්දුනු ටැන්සානියාවට මැණික් ගරන මැෂින් අපනයනය කරන අතර රජයේ ද අනුග්‍රහය ලැබේ නම් මෙම මැෂින් වෙනත් රටවලට ද අපනයනය කිරීමේ හැකියාව පවතී.
මේ කාලයේ පවතින සහල් ගැටලුවට රන්දුනු ළඟ හොඳ විසඳුමක් ඇත. ඒ ගැන රන්දුනු පැවසුවේ මෙසේය.
“ඇත්තටම වී අස්වනු නෙළන කාලෙදි වැස්ස පටන් ගන්නවා. ඒ නිසා වී ටික සංරක්ෂණය වෙන්නේ නෑ. එක්කෝ පාරේ දැම්මා, වේළගත්තා. ඒත් දැන් පාරෙ වී වේළන්න දෙන්නෙත් නෑ. මේ නිසා ගොවියො බලන්නේ රු. 80ට හරි වී ටික විකුණන්න. ගොවියට කන්න වෙන්නෙත් කඩෙන් හාල් අරන්. පුළුවන් අය කොහොම හරි වී ටික වේළගෙන හොඳ ගාණක් ආවම වැඩි මිලට විකුණනවා. ගොවියාටම මේ වී ටික අස්වැන්න නෙළන කාලෙදිම වේළගන්න ක්‍රමවේදයක් හැදුවොත් බිත්තර වී ටික මෙන්ම ගොවියාගේ පරිභෝජනයටත් වී ඉතුරු වෙනවා. ඒ වගේම වැස්ස නිසා වී නාස්තියකුත් නෑ.
ඉතින් අපි නිෂ්පාදනය කරල තියෙනව වී ටික පිරිසුදු වෙලා කිරලා අනවශ්‍ය බොල් ඇට ඉවත් වෙලා දවසට වී කිලෝ 15,000ක් පමණ වේළන්න පුළුවන් යන්ත්‍රනුසාරයෙන් යොදාගත් ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය ගොවිජන සංවිධාන හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අසරණ ගොවීන්ගේ වී වලට සාධාරණයක් ඉෂ්ට වෙනවා. අපට පුළුවන් මේ ක්‍රමවේදය යුනිට් එකක් විදිහට නිෂ්පාදනය කරල දෙන්න රජයෙන් සහයෝගයක් දෙනවානම්. ඒ කියන්නෙ ගොවියො වී අස්වනු නෙළල ලොරියකින් ගෙනත් දුන්නම පිරිසුදු වෙලා වේළිලා ගෝණිවලටම ඇසුරුම් කිරීමට. මේ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වුණොත් ගොවීන්ට සාධාරණයක් වගේම අපේ රටේ සහල් ප්‍රශ්නයටත් ඉක්මනින්ම විසඳුමක් ලැබෙයි.”
රන්දුනු මේ වී ගැටලුවට විසඳුම් සොයා ඇත්තේ අසරණ ගොවීන් වෙනුවෙන්මය. තමා ජීවත් වන ඇළහැර ප්‍රදේශය ගොවි සංවිධාන 42කින් යුක්තය. ඇළහැර ප්‍රදේශයේ හෙක්ටයාර 7500ක පමණ කුඹුරු පවතින අතර රන්දුනුගේ ඉල්ලීම වන්නේ ද තම ප්‍රදේශයෙන් හෝ ගොවි සංවිධාන හරහා වී වේළන ක්‍රමවේදය ඇරඹීමට රජයේ අනුග්‍රහය ලබා දෙන ලෙසයි.
ගයාන් සංජය