ජනපති අනුර කුමාර දිසානායක සිය මංගල අය-වැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ පමණක් නොව, මුළුමහත් ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ම අවධානය එක්වර දිනා ගත්තේ ය. ස්වකීය වාග් චාතුර්යයෙන් ඉතා දක්ෂ ලෙස අය-වැය කතාවක් පවත්වමින් අය-වැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඔහු එහිදී සමත් විය.
සාමාන්‍යයෙන් අය-වැය කතාවක් හමාර වූ පසු කියන ‘අතිසාර්ථක අය-වැය කතාවක්’ යන සාම්ප්‍රදායික යෙදුම වෙනුවට ‘රට නිවැරදි දිශාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සහිත, දීර්ඝකාලීන අරමුණක් සහිත අය-වැය ලේඛනයක්’ ලෙස මෙය හැඳින්විය හැකි ය. සාම්ප්‍රදායික විපක්ෂයේ සරල අර්ථකථනය මත ප්රතිවිරෝධී අර්ථ ගොඩනඟනවා වෙනුවට, ප්රතිවිරෝධී තර්ක හකුළුවා ලූ අය-වැයක් ලෙස ද එය හැඳින්විය හැකි ය.
මෙවර අය-වැය ලේඛනය ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඉන් අත්මිදෙමින් තිබූ අවධියකදී ය; රාජ්‍ය ණය ගෙවා ගැනීමට නොහැකි වූ තරමට රාජ්‍ය භාණ්ඩාගාරය හිඳී ගොස් තිබූ අවධියකදී ය; රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ රජය සතු පංගුව බිඳවට්ටවා තිබූ යුගයකදී ය; සියල්ල පිටස්තරින් යැපෙන, යැපුම්වාදී මානසිකත්වයක තිබූ මොහොතකදී ය.
එබැවින් අය-වැය යෝජනාවලියකින් පමණක් රටක් එක්වර සුගතිගාමි තත්ත්වයකට නැංවිය හැකි යැයි අපි අපේක්ෂා නොකරමු. එහෙත් ඒ සඳහා වන දිගුකාලීන ප්‍රවේශ මාර්ගයක සැලසුම මෙවර අය-වැය ලේඛනයේ අන්තර්ගත වී තිබෙන බව අපට හඳුනාගත හැකි ය. මේ නිසා පටු දේශපාලනික දෘෂ්ටිකෝණය පසෙකලා, සාමාජයීය ආර්ථික දෘෂ්ටිකෝණයකින් අය-වැය කියවා ගන්නා ලෙස අපි සමස්ත සමාජයට ආරාධනා කරමු.
පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනය පිළිබඳ විවිධ තර්ක විතර්ක, මතවාද, සංකල්ප රාශියක් ඉදිරිපත් විය හැකි ය. ඒවා පාක්ෂික දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වන ඒවා ය. එහෙත් මෙය පොදු සමාජ අර්ථකථනය තුළ කියවා ගත යුතු අය-වැය ලේඛනයකි.
මෙතරම් කාලයක් තිස්සේ වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, වැඩ කරන පන්තියේ ජනතාව, රාජ්‍ය සේවය යනාදී විවිධ අංශවල ජනතාවගේ ඉල්ලීම්වලට නිශ්චිත සාධාරණ විසඳුම් මෙමඟින් ඉදිරිපත් කර තිබේ.
මෙපමණ කාලයක් සිදු වූයේ අය-වැය මඟින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද, ඒ යෝජනාවලට සාධාරණයක් පසුකාලීනව ඉටු නොවීමයි. අය-වැය යෝජනා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළත්, ඒ පාලක පන්තිය ඉන් අනතුරුව කටයුතු කළේ තමන්ට වුවමනා ආකාරයට ය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 40,000 දක්වා ඉහළ නැංවීමටත්, පෞද්ගලික අංශයේ මූලික වැටුප 2026 වසරේදී ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමටත්, සරසවි ශිෂ්‍යයන් සඳහා වන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත්, පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීමටත්, මහ කන්නයේ වී මිල දී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමටත් ඇතුළු ප්රගතිශීලි පන්නයේ යෝජනා රැසක් මෙවර අය-වැයේ අන්තර්ගතව තිබේ.
මීට පෙර අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්තරා මුදල් ඇමැතිවරයකු පැවසුවේ එය ‘සරදියෙල් පන්නයේ අය-වැයක්’ බවයි. එහි අර්ථය වූයේ ඇති එකාගෙන් ගෙන නැති එකාට දීමය. එහෙත් එවැනි ක්රියාකාරකමක්වත් එහිදී සිදු වූයේ නැත. මන්ත්‍රීවරු තමන්ට හැකි පමණින් ව්‍යාපෘතිවලින් මුදල් ඉපැයීමට කටයුතු කළහ.
ජනපතිවරයා ස්වකීය අය-වැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් තවත් සුවිශේෂ වූ ප්‍රකාශයක් සිදු කළේය. එනම්, මෙය තමාගේ හුදෙකලා ප්රකාශනයක් නොව, සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි. එමෙන් ම ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳ බලාපොරොත්තු තැබූ ජනතාවගේ අපේක්ෂා ඉටු කරලීමක් ද බවයි. අත්දැකීම් අඩු, රාජ්‍ය පාලනයට ආධුනික යැයි කියූ පිරිසක් රට නිවැරදි දිශාවට රැගෙන යෑම සඳහා සකස් කළ, දැක්මක් සහිත ප්රකාශනයක අන්තර්ගතය බව ද ඔහු සඳහන් කළේය.
සවිමත් අනාගතයකට පෙරවදනක් සහ මූලෝපායික දැක්මක් සහිත අය-වැය යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇති බව අය-වැය සම්බන්ධයෙන් අදහස් පළ කරන මධ්‍යස්ථ මතධාරීහු ප්‍රකාශ කරති. රට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට කිසියම් නිශ්චිත මූලෝපායික වැඩ සැලැස්මක් අවශ්‍ය බව අය-වැය යෝජනාවලිය අවධාරණය කොට තිබේ.
මෙය මැති සබයට ඉදිරිපත් කරන ලද 79 වැනි අය-වැය ලේඛනයයි. එය මීට පෙර ඉදිරිපත් කරන ලද සියලු අය-වැය ලේඛනවලට වඩා විශේෂ බව අවධාරණය කළ යුතුය. එබැවින් යෝජනාවලියකින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් සහිත මෙවර අය-වැය ලේඛනය හඳුනා ගැනීමට අපි කැමැත්තෙමු.
මෙය පොදු සමාජය ඉතා කැමැත්තෙන් වැලඳගන්නා සහ විරුද්ධ පාක්ෂික මතවාදවලට ආතතිය වැඩි කරවන අය-වැය ලේඛනයක් බව මතුව ඇති ප්‍රකාශවලින් හඳුනා ගත හැකි ය. දැන් ඇත්තේ අය-වැය ලේඛනය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාවයි.
ප්‍රායෝගිකත්වයේ සීමාව මත මහපොළොවේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ සඳහා අඩිතාලම මෙමඟින් සකස් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.