කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය හදිසියේම ගිනි ගැනීම නිසා එහි තිබූ උපකරණ රැසක් පෙරේදා (15) ගින්නට හසුව විනාශ වී ගොස් තිබේ.
මේ අවස්ථාවේදී රෝහලේ සවිකොට තිබූ ගිනි නිවන උපකරණ සියල්ලම භාවිත කිරීමට රෝහල් සේවකයින් පියවර ගෙන ඇති නමුත් ඒවා යල්පැන ගිය ගිනි නිවන උපකරණ නිසා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.
කිළිනොච්චිය රෝහල තුළම වෙනත් ව්‍යාපෘතියක් යටතේ ඉදි කොට තිබූ ගොඩනැඟිල්ලක සවි කොට තිබූ ගිනි නිවන උපකරණ කිහිපයක් ගලවා ගෙන පැමිණි සේවකයින් විසින් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කර ගැනීම නිසා ඉතා වටිනා භාණ්ඩ හා උපකරණ බේරා ගැනීමට හැකිව තිබේ.
කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් විනාශ වී ගිය බොහෝ උපකරණ යළි භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා රුපියල් ලක්ෂ 25ක පමණ අලාභයක් කිළිනොච්චිය රෝහලට සිදුව තිබේ. මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කිළිනොච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතරතුර කිළිනොච්චිය රෝහල මඟින්ද මෙම ගින්න සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
කෙසේ වෙතත් කිළිනොච්චිය රෝහලේ සවිකොට ඇති සියලුම ගිනි නිවන උපකරණ කල් ඉකුත් වී වසර කිහිපයක්ම ගත වී ඇති බව රෝහල කළ පරීක්ෂණවලින් දැනට හෙළි වී තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ