Home » මන්ත්‍රී වාහනය යතුරුපැදියක ගැටී පැදිකරු මරුට

මන්ත්‍රී වාහනය යතුරුපැදියක ගැටී පැදිකරු මරුට

- රියැදුරු රිමාන්ඩ්

by sachintha
February 17, 2025 1:31 am 0 comment

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන් ගත් වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියේ මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනයේ රියැදුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාරවිල දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමන්පාලි අමරසිංහ මහතා නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයකු වන සයිඩ් මොහොමඩ් සපාතුල්ලා නමැති අයයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෙන්නප්පුව පතහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රතුගමගේ ප්‍රැන්සිස් ගාමිණී නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 14 වැනිදා උදෑසන 7.30ට පමණ පුත්තලම ප්‍රදේශයේ සිට මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව බලා ගමන් ගෙන ඇත. වාහනය නාත්තන්ඩිය දංකොටුව ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදිකරු තරාදියක් අලුත්වැඩියා කිරීම සඳහා දංකොටුව ප්‍රදේශයේ සිට නාත්තන්ඩිය දෙසට ගමන් කරමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය යතුරුපැදියේ ගැටී මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව ඇත. වාහනයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව කොස්වත්ත පොලීසිය සඳහන් කළේය.

අනතුරුව රියැදුරු අත්අඩංගුවට ගෙන මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කොස්වත්ත පොලීසිය කටයුතු කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර සිද්ධිය වූ ස්ථානයේම යතුරුපැදිකරු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව කොස්වත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.

මාරවිල සමූහ

මිහිර විජේසේකර

පුත්තලම දිසා සමූහ

ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT