‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය එක්ව සංවිධානය කළ ප්‍රාසාංගික වැඩසටහනක් පසුගියදා (14) ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
වැලන්ටයින් දිනය නිමිති කර ගනිමින් ‘Youth එක Clean වෙන ආදර පෙබරවාරිය’ ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන ‘ඉදිරිගාමී සමාජයක් තුළ අප බලාපොරොත්තු වන්නා වූ ප්‍රේමය’ පිළිබඳ සංවාදය ගොඩනැඟීම අරමුණු කර ගනිමින් සංවිධානය කර තිබිණි.
මේ සඳහා මෙරට ජනප්‍රිය ගායික ගායිකාවන් මෙන්ම ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ සේවා සභාවේ ගායක ගායිකාවන් රැසක් සම්බන්ධ වූ අතර, සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීත ගායනා සහ ප්‍රාසාංගික අංග පැවැත්වීම විශේෂත්වයකි. මේ සඳහා නර්තන හා රංගන දායකත්වය ජාතික තරුණ සේවා සභාවේ සහ ජාතික යොවුන් සේනාංකයේ නර්තන කණ්ඩායම මඟින් සිදු කරන ලදි. මේ සඳහා සම්බන්ධ වූ කලාකරුවන් ස්වේච්ඡාවෙන් මේ සඳහා සිය දායකත්වය ලබා දීම ද විශේෂත්වයකි.
මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහත්වරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, තරුණ සේවා සභාවේ සහ ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීහු එක්ව සිටියහ.
මීට සමගාමීව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෙරේදා (15) සහ ඊයේ (16) වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
මලිඳු තෙන්නකෝන්