Home » රොක් කඳු රක්ෂිතයේ ගින්නෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් කඩා වැටීමේ අවදානමක්

රොක් කඳු රක්ෂිතයේ ගින්නෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් කඩා වැටීමේ අවදානමක්

-රියැදුරන්ට විමසිලිමත් වන්නැයි දැනුම් දෙයි

by sachintha
February 17, 2025 1:23 am 0 comment

ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ ඇල්ල රොක් කඳු රක්ෂිතයේ දින තුනක් පැතිර ගිය ගින්න නිවා දැමීමට හැකිවී ඇත. ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහළ කඳු මුදුනේ පිහිටි ගල් පර්වත රත්වී ඉරිතළා පුපුරා යෑම නිසා පහළ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පර්වත කඩා වැටීමේ අවදානමක් මතුවී ඇත. එහෙයින් රථවාහන පැදවීමේදී රියැදුරන්ට දැඩි විමසිල්ලෙන් කල්පනාකාරීව රිය පදවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඊයේ (16) දැනුම් දෙන ලදි.

ඉකුත් 13 වැනි දින පස්වරුවේ ඇල්ල රාවණාඇල්ල රක්ෂිතයේ අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු මුදුනේ හට ගත් ගින්න සුළං සහ දැඩි වියළි දේශගුණික තත්ත්වයත් සමඟ ශීඝ්‍රයෙන් පැතිර ගොස් අක්කර 600ක පමණ භූමි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වියළි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවකු විසින් රාවණාඇල්ල වන රක්ෂිතයට මෙසේ ගිනි තබන්නට ඇතැයි සැක කෙරේ.

ගින්න නිවා දැමීමට වනජීවී නිලධාරීන්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය සභාව, දියතලාව යුද හමුදාව, ගුවන් හමුදා නිලධාරීන්, ගම්වාසීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හපුතලේ අඩවි වන කාර්යාලයේ අඩවි වන නිලධාරී ඩබ්ලිව්. එම්. දිලීප චතුරංග සිරිසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් දින තුනක් ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ.

මේ ගින්නට හසුව රක්ෂිතයේ වටිනා දුර්ලභ ගණයේ ඖෂධ වර්ග, ගස්කොළන් විනාශ වී වන සතුන් ද මිය යන්නට ඇතැයි පරිසරවේදීහු පවසති.

රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහළ කඳු මුදුනේ පිහිටි ගල් පර්වත ගින්නට හසුව පුපුරා ගොස් ඉරිතළා ඇති බවත්, එම ගල් පර්වත පහළ පිහිටි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් මතුවී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සී. ගමගේ – සොරණාතොට සමූහ සහ බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT