ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය බෙදුණු තීන්දුවක් දී ඇත.
ඒ අනුව විනිසුරු මඬුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ යුතු බවයි.
එහෙත් විනිසුරු මඬුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට (14දා) නිවේදනය කර සිටියේය.
කථානායකවරයා විසින් නිවේදනය කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයන් මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.
ඒ අනුව විනිසුරු මඬුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ:-
පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි.
විනිසුරු මඬුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ:-
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-
කථානායකතුමා ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මුද්‍රණය කර අපට ලබා දෙන්න කියා සිටියා. අද මේ ගැන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවත් පැවැත්වීමට නියමිතයි. ඒ නිසා තීන්දුව මුද්‍රණය වෙන්න යම් කාලපරාසයක් ගත වෙනවා. උපදේශක කාරක සභාව රැස්වීමට පෙර එය මුද්‍රණය කර කඩිනමින් දෙන්න කියා අප ඉල්ලනවා.
රවී කරුණානායක මහතා-
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මැතිවරණයට මිලියන 2,500ක් පමණ වියදම් කරන්න තිබෙනවා. මේ අවස්ථාවේ වියදම් අඩු කරගෙන යන මොහොතක අපට දරාගන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් ඇති කරන්න බැරිද? ජනතාවට දරන්න බැරි ඉහළ බරක්. මෙහි වියදම් අඩු කරන්න පුළුවන් ස්වරූපයකට යන්න අපට පුළුවන්ද?
රවුෆ් හකීම් මහතා-
මේ තීන්දුවේදී විනිසුරු මහත්වරුන් දෙදෙනකු කියා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 වගන්තියට පටහැණිව තිබෙන බැවින් තුනෙන් දෙකක ඡන්දයෙන් මෙය අනුමත විය යුතුයි කියන කාරණය. මේ නීතිපති දෙපාර්තමේන්තුව මුල සිටම මේ ගැන හරියටම පරිශීලනය කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබුණානම් දවසකින් මේ තීන්දුව ලබා දෙන්න තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ වැරැද්දක්. අපි මේක පෙන්නුම් කරන තෙක් නීතිපති දෙපාර්තමේන්තුව දන්නේ නැද්ද? ඉතාම පැහැදිලිව පටහැණියි කියලා දැන දැනම මේ පනත ඉදිරිපත් කරලා.
කථානායක-
ඔබතුමාලා පාර්ලිමේන්තුවේ බොහෝ ඇසූ පිරූ අයනේ. මේක විවාදයක් කරගන්න අවස්ථාව නොවෙයි. විවාදයට දිනයක් ලබා දී තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දීම සඳහා අද (14දා) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අද දිනයේදීම අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙනු ඇත. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා ප.ව. 02 සිට ප.ව. 07 දක්වා සිදු කිරීමට ද තීරණය කර ඇත.
මෙම පනත් කෙටුම්පතට අදාළව ලද පෙත්සම් යසන්ත කෝදාගොඩ ‘ජනක් ද සිල්වා’ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් සලකා බලනු ලැබීය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න