මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දෙමින් වසර 36ක කාලයක් වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තීය සිදු කළ පිළිකා පිළිබඳ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතා අද (14) දිනයේ විශ්‍රාම යෑමට නියමිත අතර, මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක ලෙස පවත්වාගෙන යෑමට පවතින සෑම රජයක්ම ක්‍රියාකරයි. ඉතිහාසයේ සිට මේ දක්වා කාලයේ මෙරට සෞඛ්‍ය සේවාව කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් ගත්කල ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට පැමිණ තිබේ. එය සිදුව තිබෙන්නේ ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ උපකරණ, අනෙකුත් යන්ත්‍ර නිසා පමණක් නොව, පළපුරුදු සහ අත්දැකීම් සපිරි මානව සම්පතේ ද දායකත්වය නිසාය.
1962 පෙබරවාරි මස 14 වැනිදා අම්බලන්ගොඩ දී උපත ලබන විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ද සිල්වා අම්බලන්ගොඩ ධර්මාශෝක, පානදුර ශ්‍රී සුමංගල, කොළඹ ශාන්ත ජෝන්, ශාන්ත තෝමස් සහ කොළඹ නාලන්දා විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා තිබේ. නාලන්දාවේ කනිෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක තනතුරු හොබවා තිබෙන ඒ මහතා උසස් පෙළ විභාගයෙන් හොඳම ප්‍රතිඵල ගෙන පොදු කුසලතා ලැයිස්තුවෙන් කොළඹ වෛද්‍ය පීඨයට තේරී පත්විය.
1990දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබන කණිෂ්ක ද සිල්වා හොඳම කාර්යසාධනය සඳහා ව්‍රසපිල්ලා ගේබ්‍රියෙල් (Vrasapilla Gabriel) අනුස්මරණ රන් පදක්කම සමඟ 1994 ශල්‍යකර්ම පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබේ. වෛද්‍ය ආර්. ගේබ්‍රියෙල් මහතා යටතේ මහරගම ජාතික පිළිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ද සිල්වා 1996දී එක්සත් රාජධානියේ රාජකීය මාර්ස්ඩන් රෝහලේ සහ වික්ටෝරියා ක්වීන් රෝහලේ පුහුණුව ලබා ඇත.
1997දී පිළිකා ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මාණ්ඩලික සහතිකය ලබන ඔහු පිළිකා ශල්‍ය වෛද්‍ය උපදේශකවරයකු ලෙස ද පත්වීම් ලැබීය. 1997 වසරේදීම පළමු පිළිකා ශල්‍ය වෛද්‍ය උපදේශක ලෙස මහනුවර මහ රෝහලට යන ඒ මහතා එහි පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ද තම දායකත්වය දී තිබේ. කොළඹින් පිටත පළමු පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකය වූ එහි පළමු පියයුරු සායනය පැවැත්වීමට ද මොහු සමත්විය.
2011දී මහරගම ජාතික පිළිකා ආයතනයේ පිළිකා ශල්‍ය වෛද්‍ය උපදේශකවරයකු ලෙස පත්වීම් ලබන කණිෂ්ක ද සිල්වා එහි නව ඒකකයක් ආරම්භ කිරීමට ද මුල්විය. මේ වන විට එම රෝහලේ ඒකක සංඛ්‍යාව පහ දක්වා පුළුල් කර තිබේ. පිළිකා පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍යවරයකු ලෙස වසර 28ක් සහ වෛද්‍යවරයකු ලෙස වසර 36ක් සේවය කර තිබෙන ඒ මහතා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, මාලදිවයින සහ බංග්ලාදේශයේ උපාධි අපේක්ෂකයන් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් සඳහා පුහුණුකරුවකු වශයෙන් ද කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, රුසියාව, ඩුබායි, මාලදිවයින, එක්සත් රාජධානිය යන රටවල විද්‍යාත්මක සැසි ගණනාවකට ආරාධිත සාමාජිකයකු සහ ප්‍රධාන කථිකයකු ලෙස සම්බන්ධ වී තිබෙන කණිෂ්ක ද සිල්වා මහතා චර්ම රෝග සහ ශෛල්‍යකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් ග්‍රන්ථ දෙකක් ද, පියයුරු පිළිකා පිළිබඳ මහජන අධ්‍යාපනය වෙනුවෙන් ග්‍රන්ථයක් ද රචනා කර කළේය. ශ්‍රී ලංකා පියයුරු පිළිකා මාර්ගෝපදේශ සංසදයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබේ.
ඒ මහතා මහජන අධ්‍යාපනය සඳහා වූ ජාතික පත්‍රිකා සඳහා සැලකිය යුතු ලිපි සංඛ්‍යාවක් රචනා කර ඇති අතර, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් ගණනාවක් ද පවත්වා ඇත. 2009 වසරේ සිට surgical oncology පිළිබඳ විශේෂඥ මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙන වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතා 2012 සිට 2025 දක්වාම සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.
සාමාන්‍ය ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ අවම වශයෙන් ලියාපදිංචිකරුවන් 300ක් 400ක් පමණ මෙරට සහ විදේශයන්හි උපදේශකයන් ලෙස සේවය කරන අතර, මේ කාලයේ සෑම පළාතකම පිළිකා ශල්‍යකර්ම ඒකක පිහිටුවීමට ද ඒ මහතා සිය දායකත්වය සපයා තිබේ. ඒ අනුව මේ වන විට මහරගමින් පිටත පිළිකා සැත්කම් ඒකක 10ක් පමණ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
සටහන – මහින්ද අලුත්ගෙදර