Wednesday, April 23, 2025
Home » එයිට්කින් ස්පෙන්ස් නව සභාපතිනිය – ස්ටෂානි ජයවර්ධන

එයිට්කින් ස්පෙන්ස් නව සභාපතිනිය – ස්ටෂානි ජයවර්ධන

by sachintha
February 14, 2025 1:40 am 0 comment

අඛණ්ඩ හා දූරදර්ශී නායකත්වය පිළිබඳව ව්‍යාපාරික ලෝකයේ ප්‍රකට නාමයක් දැරූ එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි ගරු සභාපති, දේශමාන්‍ය ඩී. එච්. එස්. ජයවර්ධන (හැරී ජයවර්ධන) මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමාගම දැඩි කනගාටුව පළකරයි. ඔහුගේ සුවිශේෂී දායකත්වයන් කෘතඥතා පූර්වකව සිහිපත් කරන ආයතනය මෙම අසීරු මොහොතට මුහුණ දෙන ජයවර්ධන පවුලේ සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළකර සිටියි.

එසේ විශාල අහිමිවීමකට මුහුණ දුන් සමාගම වහා ක්‍රියාත්මක වන පරිදි නව සභාපතිනිය වශයෙන් ඩී. එස්. ටී. ජයවර්ධන (ස්ටෂානි ජයවර්ධන) මෙනෙවිය පත් කරන ලද බව දැනුම් දෙන්නේ සතුටිනි. ජයවර්ධන මෙනෙවිය සිය පියාණන් ගොඩනැඟූ විශිෂ්ටත්වයේ උරුමය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට තමන් සතු සුවිශාල දැනුම් සම්භාරයත්. දැඩි කැපවීමත් ප්‍රයෝජනයට ගනු ඇත.

එයිට්කින් ස්පෙන්ස් සමාගමෙහි නායකත්ව භූමිකා හොබවමින් ජයවර්ධන මෙනෙවිය සමාගමෙහි වර්ධනයට හා නවෝත්පාදනයට අගනා දායකත්වයක් ලබා දෙමින්, පුරා වසර 10ක ට වැඩි කාලයක් තිස්සේ මහඟු කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ළාබාලතම සාමාජිකාව සහ පළමු කාන්තා සාමාජිකාව වශයෙන් එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී හි බොහෝ වාර්තා තැබීමට ද ජයවර්ධන මෙනෙවිය සමත් විය. අඛණ්ඩ සාර්ථකත්වය සහ නව්‍යකරණය සම්බන්ධයෙන් එයිට්කින් ස්පෙන්ස් සමාගම ඇයගේ හැකියාවන් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම පත්වීම මඟින් ප්‍රකට කෙරෙයි.

තම දිවංගත පියාණන්ගේ මඟපෙන්වීම යටතේ සමාගම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර 15කට අධික අත්දැකීම් හා පළපුරුද්දක් හිමි කරගැනීමට ජයවර්ධන මෙනෙවියට අවස්ථාව ලැබිණි. සංචාරක ක්ෂේත්‍රය ද ඇතුළුව එයිට්කින් ස්පෙන්ස් සමූහායතන කළමනාකරණයෙහිලා ඇය කළ ක්‍රමෝපායික මඟපෙන්වීම විශිෂ්ටය. ඇය එසේ එක්රැස් කරගත් දැනුම් සම්භාරය සහ පුළුල් ව්‍යාපාරික අත්දැකීම්, ඇයගේ පියාණන් වූ දිවංගත දේශමාන්‍ය ඩී. එච්. එස්. ජයවර්ධන මහතාගේ දැක්මට අනුගතව එයිට්කින් ස්පෙන්ස් සමූහායතනය අඛණ්ඩ වර්ධනයක් කරා මනාව මෙහෙයවීමට අතිශයින් ඉවහල් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT