ආර්ථිකය බිඳ වැටීමෙන් අනතුරුව ආර්ථිකය ස්ථාවරත්වයකට පත්වී තිබෙනවා.මේ ගැන ඔබගේ විග්‍රහය කුමක්ද?
ලෝකයේ මෙවන් අභියෝගයන්ට මුහුණදුන් රටවල් සමඟ සසඳන විට අපි මේ අභියෝගය මැනවින් කළමනාකරණය කළ බව කිවයුතුයි.මේ වන විට ආර්ථික වර්ධනය 4%,5% ක් අතර පැවතියද රටේ ආර්ථික වර්ධනයක් ලබා ඇත්දැයි ගණනය කළ හැක්කේ අප ඓතිහාසිකව අත්කරගෙන ඇති ආර්ථික වර්ධනයට සාපේක්ෂවයි. ඒ තත්ත්වය හොඳින්ම වැටහෙන්නේ කලාපීය රටවල් අත්කරගෙන ඇති ආර්ථික වර්ධනය පිළිබඳ සලකන විටයි. ආර්ථික දියුණුව මැනීමේ මූලික සාධකය කලින් පැවති තත්ත්වයන් සමඟ සැසඳීමයි. නමුත් 2022 පැවති තත්ත්වය සහ වත්මන් තත්ත්වය පිළිබඳව විමසීමෙන් රටේ ආර්ථිකය වර්ධනය වී තිබේදැයි නිවැරදිව කිව නොහැක්කේ. ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කළ පසුබිමක සිට සැසඳීම නිවැරදි නොවන නිසායි.
නිදහසින් පසු අපේ ආර්ථිකය නිවැරදි දිශාවකට අනුගත නොවූබවද ඔබ පවසන්නේ?
නිදහසින් පසුව පත්වූ රජයන් අඩපණ වී තිබූ කෘෂිකාර්මික ආර්ථිකය මෙන්ම කාර්මික ආර්ථිකය ගොඩනැඟීම සඳහා උත්සාහ ගත්තා .1956 පසුව ජාතීන් වශයෙන් මෙන්ම ආගමික වශයෙන් බෙදීම් අන්තවාදී මට්ටමකට තීව්‍ර වුණා .ඒ තත්ත්වයයි පසුව යුද්ධයක් දක්වා වර්ධනය වුණේ.1956 පමණ ඇෙමරිකානු (metro or underground)මෙට්ට්‍රෝ සමාගම කොළඹ නගරයේ භූගත ප්‍රවාහන සේවාවක් ඇරඹීම සඳහා ආයෝජනයක් පවා කළබවට තොරතුරු තිබෙනවා. නමුත් පෞද්ගලික ව්‍යවසායන් රාජ්‍ය අංශයට නතුකරගැනීමේ ජනසතු ව්‍යාපාරය දියත්වීමත් සමඟ මෙවැනි ආයෝජන පැමිණීම අඩපණ වුණා. පෞද්ගලික අංශයේ ආයෝජනයන් අධෛර්යයට පත්වුණා.
1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නිදහස් හා ලිබරල් ආර්ථිකයකට පිවුසුණු පළමු දකුණු ආසියානු රට බවට පත් වුණා. 1978 වන විට ලෝකයේ ප්‍රමුඛ මට්ටමේ විදෙස් බැංකු 21ක් පමණ ලංකාවේ ශාබාවන් විවෘත කළා. ඔවුන්ගේ අනුමානය වුණේ නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය හොංකොං වැනි දියුණු ආර්ථික මධ්‍යස්ථානයක් වන බවයි. නමුත් අඩුපාඩු බොහොමයක් නිසා ලංකාවට ඒ තත්ත්වය අහිමි වුණා. සිවිල් ගැටුම් උග්‍රවීම මෙන්ම උතුරේ දේශපාලනය ත්‍රස්තවාදී ස්වරූපයක් ගැනීම නිසා ඉන් පසු අණ්ඩු කීපයකටම සිදු වුණේ සංවර්ධනය පසෙක දමා යුද්ධයකට මැදිහත් වීමටයි.
80 දශකය වන විට මැලේසියාව ඉන්දුනීසියාව,සිංගප්පූරුව, වියට්නාමය,තායිලන්තය පිලිපීනය වැනි ආසියාතික රටවල ආර්ථිකය අපේ ආර්ථිකයට සමාන දළ දේශීය නිෂ්පාදිතයක්, සමාන ඒක පුද්ගල ආදායමක් පැවතුණේ. නමුත් අවුරුදු 20ක් ඇදුණු යුද්ධය අවසන් වන විට කලාපයේ සියලුම රටවල් අපි පසුකරමින් ආර්ථිකව ශක්තිමත් වෙලා. ඉන්දියාව, වියට්නාමය, ,මැලේසියාව, පැවති තත්ත්වයෙන් පියවර කීපයක් ඉදිරියට ගිහින් ඒ රටවලට අපිට තරම් ආර්ථික සාධක තිබුණේ නෑ, මේ වන විට බටහිර සිට ආයෝජන මේ රටවල් වෙත ගලා එනවා.
මේ තත්ත්වයට මූලික කේතුව බලය වෙනුවෙන් කළ පටු දේශපාලනය.මා හඳුනගත් දෙවැනි දුබලකම ආකල්ප අතින් දුප්පත් වීමයි.
සංවර්ධනයේ පළමු පියවර ආකල්ප සංවර්ධනයයි. අපේ රට ආර්ථික වශයෙන් පසුබෑමට හේතුවී ඇති මූලික සාධකය ආකල්ප අතින් ඇති දුගී බවයි. නීතියට ඇති අනුගතබව සහ ගරුත්වය රථවාහන නීතියට ඇති අනුගතබව පිළිබඳව සැලකීමෙන් පමණක් හඳුනාගත හැකියි.වාහනයක් නීතියට ගරුකරමින් ධාවනය කරන කෙනෙකුට ශ්‍රී ලංකාවේ ධාවනය අසීරුයි. බහුතරයක් දෙනා නීති උල්ලංඝනය කරමින් නීතිගරුක අය සමඟ ගැටීමට කටයුතු කරනවා. මේ තත්ත්වයෙන් පෙනී යන්නේ සමාජයේ නොදියුණුකමයි. සිතිවිලි හා ආකල්ප දියුණු සමාජයක මානව ගරුත්වය ඉහළයි. අනෙකාට ගරුකරන සමාජයක් දියුණු කිරීම පහසුයි. එහෙම සමාජයක හොරකමට ඉඩක් නෑ. අල්ලස් ගැනීම වගේම දීමත් ලැජ්ජාවට කරුණක්. ආධාර ඉල්ලීම හා ගැනීම අවනම්බුවට කරුණක්.
ඵලදායිතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි මීලඟ වැදගත් කරුණයි. නිෂ්පාදන ඵලදායිතාව, කලය, ශ්‍රමය, මෙන්ම, අමුද්‍රව්‍ය ඉහළ ඵලදායිතාවකින් යුතුව පරිහරණය කිරීම අපේක්ෂා කරයි. එක් පැයකදී කරන නිෂ්පාදන ප්‍රමාණය හා ඒවායේ ගුණාත්මය දියුණු කිරීම මෙයින් අපේක්ෂා කරයි. වියට්නාමය ජපානය වැනි රටවල් දියුණුවට පත්වී තිබෙන්නේ ඵලදායිතාව නිසාමයි.අපේ රටේ සේවකයෙක් පැයකට නිෂ්පාදන 20ක් කරනවිට වියට්නාමයේ කම්කරුවෙක් නිෂ්පාදන 50ක් අවසන් කරන මට්ටමට ඵලදායිත්වය දියුණු කර තිබෙනවා . අපේ රටේ සේවකයෙකුට මෙන් තුන්ගුණයක වැටුපක් වියට්නාම් සේවකයින්ට ගෙවනවා. වැඩි පඩියක් ගෙවමින් වුවත් ආයෝජකයින් වියට්නාමයේ ආයෝජකය කරන්න ඒ ඉහළ ඵලදායීත්වය නිසයි.
“S5″,” LEAN CONCAPT” වැනි කළමනාකරණ සිද්ධාන්ත උපයෝගී කරගැනීමෙන් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගෙන තිබෙනවා.
ලෝක බැංකුවේ දත්ත අනුව සැකසෙන EASE OF DOING BUSINESS දර්ශකය පිළිබඳව කුමක් කිව හැකිද?
මේ පිළිබඳ අවසන්වරට වාර්තාවක් ඉදිරිපත් වුණේ 2020 වසරේ දී රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ 99 වැනි තැන. සංවර්ධිත රටවලට වඩා විශාල වශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින කලාපයේ. සංවර්ධිත රටවල ආයෝජකයින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. එසේ ආයෝජනය කිරීමේදී තමන්ගේ ආයෝජනයන් අපතේ නොයන බවත් ඒ සඳහා ලාභ උත්පාදනය කිරීමට ඇති හැකියාවත් පිළිබඳව ආයෝජකයෝ සැලකිලිමත්. මේ ලැයිස්තුවේ මුලට පැමිණි රටවල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී බාධා අඩු ඒ සඳහා පහසුකම් වැඩි රටවල් බවට අනාවරණය වෙයි.
මෙම ලැයිස්තුවට අනුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නෛතික කටයුතු, ඉඩමි මිලදී ගැනීම, බදු ගෙවීමේ හැකියාව, විදුලිබල සැපයුම, කම්කරු නීති, වෙළෙඳපොළෙහි විශාලත්වය, පොලී අනුපාතය වැනි සාධක සළකනවා. මේ ලැයිස්තුවට අනුව පළමු 40 අතරටවත් පැමිණීමට හැකිනම් විදෙස් ආයෝජන ළඟාකරගැනීමට පහසුයි. වත්මන් රජයේ අනාගත සැලසුම් අතර රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ පුළුල් සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ දායකත්වයෙන්.මේ සඳහා ඉන්දියානු රජය ආධාර ලබා දෙනවා. ඒ අනුව EASE OF DOING BUSINESS දර්ශකයේ ඉහළට ඒමට ඩිජිටල්කරණය නිසා අවස්ථාව ලැබෙනවා.
ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීම වත්මන් රජයේ ප්‍රමුඛ අභියෝගයක්?
වත්මන් ආණ්ඩුව පවතින ගැටලු අභියෝග සහ ශක්‍යතා පිළිබඳව අධ්‍යයනයක් තිබෙනවා. ඒ අනුව කෙටිකාලීන හදිසි සැලසුමක් සේම දිගුකාලීන සැලසුමක් තිබෙනවා. පළමුව අවධානය යොමු කරන්නේ අඩු පිරිවැයක් දරමින් කඩිනමින් සංවර්ධනය කළ හැකි ඉසව් පිළිබඳව. ඒ අනුව සංචාරක කර්මාන්තය පෞද්ගලික අංශය දැනටමත් කර ඇති ආයෝජන ඵලදායිතාව වැඩිකිරීමයි සැලස්ම. දැනට සංචාරක කර්මාන්තයෙන් උපයන ඩොලර් බිලියන 4.5ක ප්‍රමාණය සිවු ගුණයකින් පමණ වැඩිකිරීමයි අරමුණ. මේ ක්ෂේත්‍රය සඳහා නිතිපතා නව ආයෝජනයන් සිදුවෙනවා. සත්කාරක සේවය සඳහා නිපුණතා සපිරි වෘත්තිකයන් පිරිසක් අප සතුයි. වෘත්තිකයින් පුහුණුව තවදුරටත් සිදුකෙරෙනවා. මේ ක්ෂේත්‍රය විවිධාංගී කරමින් නව ව්‍යවසායන් ඇරඹීමයි අරමුණ. උදාහරණයක් විදිහට, මුහුද ආශ්‍රිත ක්‍රීඩා උද්‍යාන, ජල ක්‍රීඩාගාර, වැව් ආශ්‍රීත, කඳු නැඟීමේ වැනි සංචාරකාංග තවදුරටත් පුළුල් කිරීම.
දෙවැන්න භාණ්ඩ ප්‍රවාහනයයි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකරන්නේ නැඟෙනහිර සිට බටහිර දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් සඳහා සේවා සැපයීමයි. නැව් අලුත්වැඩියා කිරීම, මූල්‍ය හුවමාරු පහසුකම්, ආහාර සැපයීම, ඉන්ධන සැපයීම ආදි වශයෙන් අංශ ගණනාවකින් මේ ක්ෂේත්‍රයේ ව්‍යවසායන් නිර්මාණය කළ හැකියි. තෙවැනි අංශය තොරතුරු තාක්ෂණයයි. ගෝලීය තොරතුරු තාක්ෂණ කර්මාන්තය සමඟ සම්බන්ධවීම අපේක්ෂාවයි. තෙවැන්න කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමයි. ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා නව කෘෂිකර්මාන්ත පිළිවෙත් තුළින් ඵලදායිතාව වැඩිකිරීම.
බුද්ධිකා බ්‍රාහ්මණගේ
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න