තරුණයින් කෘෂිකර්මාන්තය විස්වාස නොකරන වකවානුවක වෘත්තීයවේදීන් පවා අතැර රටින් පිටවීමට උත්සාහ ගන්නා යුගයක සම පවුලත් සමඟ රටේ ඉදිමින් කෘෂිකර්මාන්තයෙන් දියුණුවිය හැකියි විශ්වාසයෙන් කරන්න තරුණයෙකි කසුන් එරංග දසනායක.
මහනුවර දිස්ත්‍රීක්කයේ අලවතුගොඩ ප්‍රදේශයේ ඇල්ලකඩේ කඳු පංති දෙකකින් වටවූ සොඳුරුතම ගම්මානයකි. කසුන් වෙනස් දෙයක් කිරීමට සිහින දුටුවෙකි. ඒ ස්මාර්ට් ගොවියෙකු වීම සඳහායි. “මේ ප්‍රදේශය කෘෂි කර්මාන්තයෙන් ඉහළ ආදායම් ලබන ප්‍රදේශයක් සුළු අපනයන බෝග,ගොඩ ගොවිතැන් වගේම වී වගාවෙනුත් ඉහළ අස්වැන්නක් දෙන වාසනාවන්ත ප්‍රදේශයක්. ඇල්ලකඩේ කියලා ගමට නම ලැබිල තියන්නේ වටේම කඳුවලින් කාන්දුවෙන වතුර ගම මැද්දෙන් දියකඳුරක් විදිහට නිරන්තරයෙන් ගලා යන නිසයි. මට වුවමනා වුණේ මම ජීවත්වෙන ප්‍රදේශයේම හිඳිමින් මගේ අනාගතය මෙන්ම අවට පරිසරයට මෙන්ම රටට වැඩදායී දෙයක් ගොඩනැඟීම මම විශ්වාස කරන්නේ තාක්ෂණය විද්‍යාත්මක භාවිතා කිරීමෙන් විශාල වෙනසක් දියුණුවක් ඇතිකළ හැකි බවයි. ඒ මූලික අදහස ඇතිවයි මම කෘෂිකර්මාන්තය තෝරාගත්තේ. තේ වගාවට සුදුසු අක්කර 15ක් ඉඩම මුලින් මිලදී ගත්තේ දෙමාපියන්ගේ සහයෙන්. ඒ අතරතුරේදී මට හම්බවුණා යාන්ත්‍රික කෘෂි වගාව පිළිබඳව පත්‍රිකාවක්. මට තේරුණා එය මා සෙවූ විදිහේ ආකෘතියක් බව. එහි සදහන් වුණේ නවීන තාක්ෂණයට අනුව ඉඩම්වලින් වැඩි ඵලදායිතාවක් ලබාගන්නා උපක්‍රම අනුගමනය කරමින් ඉහළ ආදායමක් හා අඩු ශ්‍රමයක් පිරිවැය අඩුකර ගන්නා ක්‍රමයක් පිළිබඳව. මම ඒ සඳහා අයදුම් කළා. වැඩසටහන ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් ව්‍යාපෘතියක්. තේ අක්කර 10ක සිට අක්කර 50 දක්වා ඇති ඉඩම් හිමියන් අතර ක්‍රියාත්මක වූ සුහුරු තාක්ෂණය හඳුන්වා දෙන ක්‍රමයක්. මේ සඳහා ඉහත දැක්වූ ආයතන තුනෙහි අනුමැතියෙන් රජයෙන් එක් අක්කරයක සුහුරු යාන්ත්‍රික වගාවක් ආරම්භ කිරීම සඳහා අදියර 04කදී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දුන්නා. යාන්ත්‍රික තේ වගාව සෑම අතින්ම වෙනස්. මෙහි ඇති එක් විශේෂත්වයක් වෙන්නේ තේ ඉඩමේ මායිමට පුවක්, කෝපි වැනි අපනයන වටිනා කමකින් යුතු භෝග සිටුවීම වගේම තේ පේළි දෙකක් අතර ආධාරක සිටුවා ගම්ම්රිස් වගා කිරීමයි. එමඟින් ඉඩමෙන් අමතර ආදායමක් ඉපැයීම අපේක්ෂාවයි. තේ සිටුවීම, බිම් සැකසීම යන්ත්‍ර මඟින් අස්වනු නෙලීමට පහසු ආකාරයෙන් සිදු කරයි. වගාව සඳහා ක්‍රමිකව එළන ලද නළ පද්ධතියකින් ජලසම්පාදනය විධිමත්ව සිදු කරයි. අක්කරයකට තේ පැළ 4000ක් සාමාන්‍ය පරිදි සිටවුවත් මේ ක්‍රමයේදී තේ පැළ 7000ක් සිටුවීමට සිදු කරයි. මේ ජල සැපැයුම ස්මාර්ට් දුරකතනයක ආදාරයෙන් ඇප් එකක් හරහා දුරස්ථව පාලනය කළ හැකි ආකාරයෙන් සැකසිය හැකියි. කෙසේ වෙතත් විශේෂත්වය වෙන්නේ අක්කරයකින් උපයන ආදායම 150% දක්වා මෙම ක්‍රමය ඔස්සේ ඉහළ නැංවිය හැකිවීමයි.
ඉහත දැක්වූ ආයතනවල උපදෙස් පරිදි මම යාන්ත්‍රික තේ වගාව ආරම්භ කර දැනට වසර කීපයක් වෙනවා. මුලින් අක්කරයකින් අරඹා දැන් අක්කර 07ක් දක්වා වගාව ව්‍යාප්ත කිරීමට හැකි වුණා. මේ ආකාරයෙන් අනෙකුත් ඉඩම් සංවර්ධනය කිරීමයි මගේ සැලසුම.
තේ වගාව සමඟ වගාකර තිබෙන “ඩිංගිරාල ” ගම්මිරිස් ප්‍රභේදය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දුන් ගම්මිරිස් ප්‍රභේදයක්. මෙය වැඩි අස්වැන්නක ලැබෙන ප්‍රභේදයක්. සිටුවා අවුරුද්දක් ගතවන විටම ගම්මිරිස්වලින් අස්වැන්නත් ලැබුණා.
මගේ අරමුණ අපගේ තේ නිෂ්පාදන ඇසුරින් තේ නිෂ්පාදනය කර අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමයි. සිල්වටිප් නමැති ඉහළ ආදායමක් ලැබෙන තේ නිශ්පාදනය දැනටමත් අපි ගෘහ කර්මාන්තයක් ලෙසින් ආරම්භ කළා. ඒ සඳහා රටවල් කීපයකින් දැනටමත් ඇනවුම් ලැබෙනවා. ඉදිරියේදී කුඩා පරිමාණයේ තේ කර්මාන්ත ශාලාවක් ඇරඹීමයි මගේ සැලසුම. ඒ කාර්යයන් සඳහා කැපවෙන්නේ මගේ බිරිඳ ප්‍රභා මාධවී මට විශාල ශක්තියක්”