දෙනවා කියූ පහසුකම් කිසිවක් නෑ
ණය අරන් වැවූ ගොවියෝ කබලෙන් ළිපට
මහවැලි එච්. කලාපය තුළ මහවැලි අධිකාරිය මුල් වී අපනයනය සඳහා ආරම්භ කළ කෙසෙල් වගා ව්‍යාපෘතියක් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් එම වගාවන්හි නියුතු ගොවීහු දැඩි අසරණභාවයට පත්ව සිටිති.
තඹුත්තේගම, එප්පාවල, ගල්නෑව, තලාව යන කොට්ඨාස ආශ්‍රිතව අක්කර ගණනාවක කුඹුරු තුළ සිදු කළ කෙසෙල් වගාවන්ට මෙම ඉරණම අත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති. ඉකුත් 2024 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම වගා වැඩසටහනට අදාළව ගොවීන් සහ මහවැලි නිලධාරීන් අතර පළමු රැස්වීම පවත්වා ඇති අතර, ඊට ගොවීහු 193 දෙනකු සහභාගී වී තිබිණි. ඉන් ගොවීන් 127ක් මෙම වගා වැඩසටහනට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ගොවීන් තෝරා ගැනීම, ඔවුන් වෙනුවෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ගොවීන් අත්දැකීම් චාරිකා සඳහා රැගෙන යෑම, ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී කටයුතු මෙම ව්‍යාපෘතියට අදාළව
මහවැලි අධිකාරිය මඟින් සිදු කරනු ලැබ ඇත. වගාව ස්ථාපිත කිරීම සඳහා අධික මූලික වියදමක් දැරීමට සිදු වීම ආදි කරුණු හේතුවෙන් අවසානයේ ගොවීන් 34 දෙනකු පමණක් මෙම ව්‍යාපෘතිය හරහා සිය කුඹුරෙහි කෙසෙල් සිටුවීමට යොමු වී ඇත. සමස්තයක් ලෙස සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 5,000ක් පමණ මෙමඟින් උත්පාදනය වන බවට මහවැලි නිලධාරීන් ගොවීන් හමුවේ කරුණු දක්වා තිබේ. එමෙන්ම මෙම කෙසෙල් වගාව මඟින් වසර දහසයක පමණ කාලයක් අඛණ්ඩව අස්වනු නෙළීමේ අවස්ථාව සැලසෙන බවට ද කරුණු පෙන්වා දී ඇත. නෙළාගනු ලබන කෙසෙල් අස්වැන්න ඉතා ඉහළ මිලකට අපනයනය කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව වෙළෙඳපොළ අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ද මහවැලිය විසින් භාරගනු ලැබ තිබිණි.
මෙම වැඩසටහනේ ව්‍යාපෘති වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ ද එච්. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසිනි. අදාළ ව්‍යාපෘති වාර්තාව සඳහා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද හිමිව ඇතැයි සඳහන් වේ. වෙළෙදපොළ සම්බන්ධීකරණය කිරීම මෙන්ම අස්වනු සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකර ශීතාගාර පහසුකම් සැලසීම මහවැලි අධිකාරිය මඟින් සිදු කරනු ලබන බවට ද ගොවීන් වෙත පොරොන්දු ලබා දී තිබිණි. වගාව ස්ථාපිත කිරීම සඳහා වැය වන වියදමෙන් හරි අඩක් ආධාරයක් ලෙස ගොවීන් වෙත ප්‍රදානය කිරීමට ද මහවැලි අධිකාරිය එකඟ වී ඇත. කෙසේ වෙතත් ගොවීන් ණය වී සිය කුඹුරු ඉඩම් තුළ කෙසෙල් පැළ ඉන්දවා මේ වන විට මාස හතකට වැඩි කාලයක් ගතව ඇත. එහෙත් ගොවීන් පවසන්නේ, මෙතෙක් මහවැලි අධිකාරිය සිය පොරොන්දු ඉටුකොට නොමැති බවයි.
මෙම වගා වැඩසටහනට එක්ව සිටින ආර්.ඒ.ටී. අජිත් කුමාර මහතා තමන් මුහුණ පා ඇති ඉරණම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“සිය ගාණක් ගොවියෝ මෙම ව්‍යාපෘතියේ රැස්වීම්වලට ආවා. ඒත් අපි 34 දෙනෙක් විතරයි අවසානේ කෙසෙල් හැදුවේ. ඇත්තටම අපි හැමෝම ලක්ෂ ගාණක් ණය වෙලා මේ ගොවිතැන කළේ. මේක ලේසි වැඩක් නෙවෙයි. අපි කියපු ප්‍රමිතියටම වගාව කළා. ඒත් අවසානේ නිලධාරීන් මඟඇරියා. සමහරු යල, මහ දෙකන්නේ වී වපුරපු කුඹුරු මේ. තවත් සමහරු ඇඹුල්, සීනි වගේ කෙසෙල් හදලා මාසිකව ආදායමක් ගත්ත කුඹුරුවල මේ කැවන්ඩිස් කෙසෙල් හැදුවේ. නිලධාරීන් අපට කිව්ව දේවල් එක්ක අපි හැමෝම රැවටුණා. ඇත්තටම රැවටුනා නෙමේ අපි නිලධාරීන්ව විශ්වාස කළා.”
එප්පාවල, ඉහළවැවේ අශෝක කුමාරසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“දැන් අපට වෙලා තියෙන්නේ කොටි වලිගේ අල්ලා ගත්තා වගේ වැඩක්. අතේ තිබ්බ සල්ලියි, ගෙදර තිබ්බ රත්තරන් බඩු උකස් කරලා ගත්ත සල්ලියි, මදි පාඩුවට ණයට ගත්ත සල්ලියි දැන් මේ ගොවිතැනට යට කරලා ඉවරයි. මං මේ වෙනකොට මුර හතරක් පොහොර විතරක් දාලා තියෙනවා. එක මුරේකට පොහොර කිලෝ දෙසීයක් විතර යනවා. පොහොරවලට විතරක් දැනටම ලක්ෂ දෙකකට වැඩිය වියදම් වෙලා තියෙනවා. හැමෝම වගා ළිං කපලා පයිප්ප දාලා වතුර ලයින් එකක් හයි කරලා තියෙනවා. කෙසෙල් වගා කරන්න යන වියදමෙන් භාගයක් දෙනවා කිව්වා. දැන් දෙනවා කිව්ව සල්ලිත් නෑ. දෙන්න පොරොන්දු වුණු අයත් නෑ. අපි අලින්ගෙන් කෙසෙල් කොටු බේරගන්න පැල්වලට වෙලා රෑ තිස්සේ නිදි මරනවා.”
එප්පාවල, ඉහළවැව, 407 ඩී 5 ගොවි සංවිධානයේ සභාපති අනුරුද්ධ රාජකරුණා මහතා මෙසේ අදහස් දැක්වීය.
“ගොවියෝ වවන කෙසෙල් අපනයනය කරනවා නම් අනිවාර්යයෙන්ම ශීතාගාර පහසුකමක් හදන්න ඕනෑ. එහෙම නැතිව කෙසෙල් අස්වැන්න රට යවා ප්‍රමිතියට ගේන්න බෑ. ඒක ගොවීන්ට කිව්වේ මහවැලි නිලධාරීන්මයි. දැන් වෙලා තියෙන්නේ ශීතාගාර හදනවා තියා ගොවියන්ට පොරොන්දු වුණු ආධාර මුදල දෙන එකත් මහවැලිය අත්හැර දාලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මිනිස්සු ණය වෙලා කෙසෙල් කෑල්ල ගොඩදාගත්තත් හරි මිලකට විකුණ ගන්න කෙනෙක් නැති වෙන එක.”
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්