Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජනායගම් භාරතී දිවි සැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජනායගම් භාරතී දිවි සැරිය නිමා කරයි

by chanaka
February 13, 2025 2:29 pm 0 comment

මෙරට ප්‍රවීණ දෙමළ ජාතික මාධ්‍යවේදියෙකු වූ රාජනායගම් භාරතී මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට හැට තුන් වියේ පසුවූ ඔහු රෝගාතුරව මාස කිහිපයක් රෝහල් ගතව සිට තිබුණි. රෝහලෙන් නික්ම සිය නිවෙසට පැමිණ දින කිහිපයකින් අනතුරුව අවසන් සුසුම් හෙළුවේ මීට දින කිහිපයකට පෙර පෙබරවාරි නම වැනිදා යි.

හතළිස් වසක මාධ්‍ය ජීවිතයකට හිමිකම් කියන භාරතී මිය යන විට යාපනය ‘වීරකේසරී’ පුවත් පත් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

යාපනේ, තිරුනෙල්වේලි හී 1962 සැප්තැම්බර් 06 වැනිදා උපන් භාරතීගේ මාපියන් වුණේ එහි විසූ ගණිත ගුරුවරයෙකු වූ රාජනායගම් හා සිවයෝගම් යුවලයි. ඔහුට භදීරන් හා සුරාබි නම් සොහොයුරන් දෙදෙනෙක්ද විය.

‘ඊළමුරුසු’ පුවත්පතට 1984 වසරේ දී එක්වෙමින් ඔහු සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබුණි. ඉන් වසරකට පසු ‘මුරසෝලි’ පුවත් පතට එක්විය. 1987 දී යාපනය අත්හැර කොළඹට පැමිණෙන භාරතී ‘තිනක්කුරල්’ පුවත්පතට සම්බන්ධ වී පසුව එහි වෙබ් අඩවියේ මෙන්ම පුවත් පතේද ප්‍රධාන සංස්කාරකවරයා ලෙස දිගුකලක් සේවය කළේය.

පසුගිය යුද සමයේ දී උතුරු නැගෙනහිර පළාත් වලට අමතරව කොළඹ අගනගරයේ ද සාමන්‍ය වැසියන් මෙන්ම මාධ්‍යවේදීන් ද අතුරුදහන් කිරීම්, මරා දැමීම් මැද මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් කළ ක්‍රියාධරයෙක් ලෙස භාරතී කැපී පෙනුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පළමු ධුර කාලය ඇරඹෙන 2005 වසරේ දී ශ්‍රීලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිධුරයට පත් ඔහු 2008 තෙක් එම ධුරයේ කටයුතු කළේය. පසුව එහි ලේකම්වරයා ලෙස කටයුතු කළ රාජනායගම් භාරතී යළිත් 2015 දී එම සංගමයේ සභාපතිවරයාද විය.

ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය නිරන්තරයෙන්ම කොළඹ කේන්ද්‍රීය අනෙකුත් මාධ්‍ය සංවිධාන, යුද්ධයට එරෙහි වූ ප්‍රගතිශීලි කණ්ඩායම් සමඟ ද සමීපව ක්‍රියා කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කාලය එළඹීමත් සමඟ සිය බිරිඳ දේවකී හා පුතු ප්‍රදීපන් කැටුව යළි සිය උපන් ගම වූ තිරුනෙල්වේලි වෙත ගිය රාජනායගම් භාරතී එතැන් පටන් යාපනයේ පලවූ ‘ඊළනාඩු’ පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස සේවය කරන ලදි. පසුව ඔහු ඉන් ඉවත්ව ‘වීරකේසරී’ පුවත් පතට එක්ව තිබුණි.

අභාවප්‍රාප්ත රාජනායගම් භාරතී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බ්‍රහස්පතින්දා සවස කොකුවිල් හින්දු සුසාන භුමියේ දී සිදු කෙරේ. එතෙක් ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා තිරුනෙල්වේලි, පලාලි පාරේ අංක 105/1 නිවසේ තැන්පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT