Home » සජිත් එජාප නායකයා විය යුතුයි
විකල්ප මතය

සජිත් එජාප නායකයා විය යුතුයි

by sachintha
February 13, 2025 3:07 am 0 comment

දේශපාලන නායකත්වය කළමනාකරණ මූලධර්මවලින් නිර්වචනය කළ නොහැකිය. සංවිධාන නායකත්වයේ පවතින ගුණාංග ලක්ෂණ දේශපාලන නායකත්වය තුළින් අපේක්ෂා කිරීම තරම් මෝඩකමක් නොමැත. විවිධ නායකත්ව නිර්වචන තුළින් ද දේශපාලන නායකත්වය මැනිය නොහැකිය. පැරැණි ගතානුගතික අදහස් මත නායකයා උපදිය යුතුයි යන්න නායකත්වය මැනිය හැකියි යන්න දේශපාලනය තුළ වලංගු නොවේ. එය ලෝක ප්‍රජාව තුළ ද ශ්‍රී ලාංකේය පරිසරය තුළ ද ඔප්පු කළ හැකිය. අප සමාජයේ වෙසෙන සෑම පුද්ගලයකුම එක් එක් අවස්ථාවල නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරයි. එය තෝරා ගත් පුද්ගලයකු තුළ හා කණ්ඩායමක් තුළ නොව සමස්ත ප්‍රජාව නායකත්වයෙහි විවිධ ගුණාංගයන්, විවිධ පුද්ගලයන් අතර ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය තුළ ද නායකත්ව ගුණාංගයන් විවිධාකාර ලෙස විවිධ නායකයන් තුළ අන්තර්ගතව ඇත. පරම්පරාවෙන් හෝ සමාජ ප්‍රවාහයන් තුළින් දේශපාලනයට පිවිසිය ද නායකත්වය තුළ තිබිය යුතු යහපත් ගුණාංගයන් නිරූපණය වීම ද ඒ තුළින් සමාජයේ වෙසෙන සෑම පුද්ගලයකුම නායකයකු වන අතර සෑම පුද්ගලයකුටම දේශපාලනඥයකු විය හැකි බව සනාථ කළ හැකිය. සෑම පුද්ගලයෙකු තුළම ඇති යහපත් හා අයහපත් ගුණාංගයන් දේශපාලන නායකත්වය තුළ ද තිබීම නොවැළැක්විය හැකි බව ද සනාථ කළ හැකිය.

අප රටේ දේශපාලනය තුළින්, පවතින අගය කළ හැකි ලක්ෂණයක් නම් ප්‍රජාතන්ත්‍රවාදයයි. සෑම දේශපාලනඥයකුටම තම නායකත්වය විවේචනය කිරීම, පක්ෂය හැරදායෑම, පක්ෂය පාවාදීම, පක්ෂය දෙකට තුනට කැඩීම, පක්ෂයට යනඑනමං නොදීම යන කාරණා මා දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හැටියටයි. අති දරුණු ඒකාධිපතිවාදය තුළ හා අති දරුණු වාමාංශික පක්ෂ තුළ නොමැති ප්‍රජාතන්ත්‍රවාදය අප රටේ සියලු දේශපාලන පක්ෂ තුළ තිබීම අප රට ලද ජයග්‍රහණයකි. ජනතාව දෙකට තුනට නැවෙන එකිනෙකා විවේචනය කරන දේශපාලනඥයන්ට බැණ වැදීමට හෝ එම පක්‍ෂය ජරාජීර්ණ කිරීම සිදු නොකළ යුතුයි. සියලු දේ සඟවා දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ජනතාව එවැනි දේශපාලන පක්ෂ අගය කරනවාට වඩා ප්‍රතික්ෂේප කළ යුතුයි. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදය වැළලී යයි. ප්‍රජාතන්ත්‍රවාදය හා විනය එකිනෙකට ගැටෙන ක්‍රියාකාරකම් දෙකකි.

සමාජ ප්‍රවාහකයන්

නූතන දේශපාලනඥයන් අතර මා දැනගත් ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ළඟ තිබිණි. ඔහු එක්සත් ජාතික පක්ෂය තුළින් තම දේශපාලනයේ අ යන්න ඉගෙනගෙන, තමා විසින්ම ගොඩනඟා ගත් සමගි ජන බලවේගයේ නායකත්වයට ද පත්විය. මේ ගමන ඉතා දුෂ්කර ගමනකි. ලාංකේය දේශපාලනයේ සිටි යෝධයන් රැසක් මෙලෙස එක්සත් ජාතික පක්ෂය හැරදා වෙනත් පක්ෂ ගොඩනඟා ගත්තද ඒ කිසි කෙනෙකුට පැවැත්ම තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයන් ඉඩ නොතිබිණි. තවද ඔවුන්ට සමාජය තුළ තම දර්ශනය දීර්ඝකාලීනව ගොඩනඟා ගැනීමට නොහැකි විය. නිදසුනක් ලෙස දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා , ගාමිණී දිසානායක මහතා ගොඩනඟාගත් පක්ෂය ඔවුන්ගේ වියෝවෙන් පසු අනුගාමිකයන්ට කරගෙන යාමට නොහැකි විය. එම පක්‍ෂයේ පාක්ෂිකයන් සංඛ්‍යාව රෝද තුනේ රථයක් තුළට ගාල් කිරීමට සමාජ ප්‍රවාහකයන් සමත් විය.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ගොඩනඟා ගත් සමගි ජන බළකායට ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය පමණක් නොවෙයි තම කණ්ඩායම් තුළ සිටි පුද්ගලයන්ගෙන් පවා කෙනෙහිලිකම් මැද කෙටි කාලයක් තුළ අප රට තුළ විරුද්ධ පක්‍ෂය නියෝජනය කිරීමට පාර්ලිමේන්තු අසුන් දිනා ගැනිමට අනෙක් පක්ෂ අභිභවා යෑමට සමත් විය. පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී දේශපාලන පතාක යෝධයන් විසින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නම කුඩුපට්ටම් කළද ඔහුට තව වතාවක් දීමට ජනතාවට සිදු කළ මෙහෙවර අනගිභවනීය මෙන්ම අගය කළ යුතු කාර්යයකි. එවැනි ඔසවා තැබීමෙන් සමගි ජන බලවේගයට හිමිවීමට හේතුසාධක වූයේ හුදෙක්ම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම්ය. ඔහු ගත වූ පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව ඇමතු විවාදවලදී විශාල කාර්යභාරයක් කළා. විපක්ෂ නායකතුමා ඔහුගේ අව්‍යාජ තත්ත්වයෙන් ආණ්ඩු පක්ෂ සලිත කිරීමට සමත් විය.

ගත වූ පාර්ලිමේන්තුව තුළ සජිත් ප්‍රේමදාස මහතා, සමාජයේ දුෂ්කර ජීවිත ගත කරන ග්‍රාමීය දුගී දුප්පත් ජනතාව නියෝජනය කිරීමට සමත් විය. දිනෙක ආදායම අමෙරිකානු ඩොලර් තුනයි දශම පහකට අඩු දස ලක්ෂයක් පමණ ජනතාවගේ දුගී දුප්පත්කමක් නැති කිරීමට ඔහු මැදිහත්විය.

දේශපාලනය අමතක කර දුගී දුප්පත් මිනිසුන්ට පරිත්‍යාග කිරීම් අප විසින් අගය කළ යුතු සමාජයක් බිහි කළ යුතුයි. අද සිදුව ඇත්තේ පිළිකා රෝහලට පවා පරිත්‍යාග නොලැබෙන තත්ත්වයක්. ලෝකයේ බොහෝ ධනවත් රටවල්වල පවා විශ්වවිද්‍යාල, පාසල්, රෝහල්වලට පරිත්‍යාග කිරීම දේශපාලනයෙන් තොරව අගය කළ යුතුයි. ධනවත් පුද්ගලයන්ගේ ලාභයෙන් පරිත්‍යාග ලෙස සමාජගත වන්නේ නම් එය සමාජීය වගකීමකි.

සංවර්ධන ක්‍රියාවලිය

මැතිවරණ ව්‍යාපාරවලදී සජිත් ප්‍රේමදාස මහතාගේ අව්‍යාජ අදහස් සමාජගත වූයේ වැරදි ආකාරයටය. වර්තමාන ජනාධිපතිතුමා පවා ඉදිරිපත් කරන ඉතා ඵලදායී අදහස් අද සමාජගත වනුයේ වැරදි ආකාරයටය. අලි මන්ත්‍ර යන්නෙන් අදහස් කළේ නූතන තාක්ෂණය අලි වැට සඳහා යොදාගත හැකි බව එහි සරල අදහස මත විවේචනය විය. රෑට පැමිණ ජනතාවගේ සුව දුක් විමසීම තුළින් ඔහු විදහා දැක්වූයේ ඔබගේ ගැටලු, මගේ ගැටලු මෙන් සලකා බලා ඔබගේ ජීවිතය සාර්ථක කිරීමට උපකාර කිරීමයි. ඔහු විසින් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීම නළු නිළියන් පවා උසුළුවිසුළු කරන ලදි. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දීමට නිර්දේශ කර තිබේ. ඉතා දුෂ්කර පාසල්වල සිසුවියන්ට ඒවා දරාගැනීමට මූල්‍ය ශක්තියක් නැත. ඔහුගේ අව්‍යාජ තත්ත්වය ඔහුගේ පරාජයට හේතු වුවද ඔහු විසින් සඳහන් කරන ලද බොහෝ දෑ මගේ හදවත තුළ දුගී දුප්පත් මිනිසුන් නියෝජනය කළ හැකි නායකයකු බවට පත්වී හමාරය.

නූතන සමාජයේ තරුණ තරුණියන්ට ඔහුගේ කතාව ආකර්ෂණීය කළ නොහැකි වූයේ, ඔවුන්ගේ පොත්පත් කියවීමේ දැනුමේ දුර්වලතාව හා සමාජ මාධ්‍යයන් හා අන්තර්ජාල පරිශීලනයෙන් තාක්ෂණික දැනුමට පමණක් සීමා වී මානව දයාව වැනි හුදෙක්ම ආදරය, කරුණාව වර්ධනය වන පොත්පත් කියවීමේ පළපුරුද්ද නොමැතිකම බව මගේ හැඟීමයි. වර්තමාන රජයට විශාල ප්‍රමාණයක රාජ්‍ය, රාජ්‍ය නොවන පෞද්ගලික සේවක සේවිකාවන් සහ විශ්වවිද්‍යාල සිසුන්, පාසල් ගුරු මහත්ම මහත්මීන් ආකර්ෂණය කළ හැකිවීමේ භාග්‍යය සමගි ජන බලවේගයට නොහැකි වූයේ සමාජ මාධ්‍ය තුළ ආකර්ෂණීය වදන් පෙළවල් හා දරුණු මඩ ගැසීම් නිවැරදි චින්තනය බව තරුණ පරපුර විශ්වාස කිරීමය. පොත්පත් පරිශීලනය කරන්නන් තුළ සමාජ ජාලා චින්තනයට එහාගිය චින්තනයක් පැවතිය යුතු වුවද එය එලෙස සිදු නොවීම ජාතික අභාග්‍යයකි. නිවැරදි කරගත හැකි නායකයන් අප සමාජය තුළ. නිවැරැදි කරගත හැකි නායකයන් අප සමාජය තුළ ඇත. සජිත් ප්‍රේමදාස මහතා ද එවැන්නකි. ඔහුගේ සහජ හැකියාවන් අප රටේ සංවර්ධන ක්‍රියාවලියට යොදාගත හැකි වේ. එය හුදෙක් ඔහු විසින් ගොඩනඟා ගත් සමගි ජන බලවේග ප්‍රතිපත්තීන් තුළත් විද්‍යමාන වේ.

blue print නමැති මැතිවරණ ප්‍රකාශනය ඔහු ජයග්‍රහණය කළ පසු ක්‍රියාත්මක වන ආකාරය මැනවින් පැහැදිලි කළද එය සමාජගත කිරීමට ඔහු වටා සිටි සමාජ ජාලා මෙහෙයවන්නන්ට නොහැකි විය.

ශුද්ධ වූ පක්ෂය

සජිත් ප්‍රේමදාස මහතා වටා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් රාශියක් ඒකරාශි වූයේ ඔහුගේ ප්‍රතිපත්තිවල ඇති සංවේදීභාවය මතය. දුගී දුප්පත් ජනතාව සඳහා දුගී බව නැති කිරීමට ඇති එකම විසඳුම ඇත්තේ ඔහු සතුව බව අප තරම් දන්නා පිරිසක් නොමැති තරම්ය. සමාජීය විෂමතා, දුගී බව, ආර්ථික, සාමාජීය රාජ්‍ය ගැටලු පිළිබඳ මනා අවබෝධයක් සජිත් ප්‍රේමදාස මහතා සතු වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට යන්ත්‍රණයක් එම පක්‍ෂය තුළ ගොඩනැඟීමට නොහැකි වූයේ බොහෝ දේශපාලන නායකයන් කකුල් දෙකම දෙපැත්තේ තබාගෙන දේශපාලනයේ නිරත වීමයි. එක්සත් ජාතික පක්ෂය නමැති ප්‍රධාන පක්ෂයෙන්ම දෙකට කැඩී ගොඩනඟා ගත් සමගි ජන බලවේගයට දේශපාලන කුහකත්වය තදින් බලපායි. අතීතයේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය පක්ෂවලට පැවැත්මක් නොමැති වුවද සජිත් ප්‍රේමදාස මහතා වටා සමගි ජන බලවේගය සමඟ දේශපාලන ගමනක් යෑමට ජනතාව කැමැත්තෙන් සිටියි.

එක්සත් ජාතික පක්ෂය තුළත් කලට වෙනස් වූ නායකත්වයක් පැවති දේශපාලන පක්ෂයකි. අවාසනාවට මෙන් ගතවූ දශක තුන තුළ එය එක තැන පැලපදියම් වූ පක්ෂයක් හා එකම එක නායකයකු වටා රොක්විය. කොතලාවල, ජේ.ආර්, ප්‍රේමදාස, ගාමිණී වැනි අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වූ නායකත්වය රනිල් ළඟ දශක තුනක් නතර විය. එය එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදුවූ හානියකි. රනිල් නායකත්වය වෙනස් කිරීමට අකැමැති වුවහොත් ඔහුවටා ඇති පිරිස එයට අකැමැති විය. නායකත්ව මණ්ඩලය පක්ෂපාතී වීම සමස්ත පාක්ෂික ජනතාව අමතක කර විය. එය එක්සත් ජාතික පක්ෂය විනාශයට සමත් විය. ඉතා අගනා නායකයන් අහිමි විය. රනිල් වික්‍රමසිංහ විසින් නව නායකත්වය සජිත්ට දිය යුතුයි. එසේ නොදී මෙන් සිදුවනුයේ එක්සත් ජාතික පාක්ෂිකයන් හට කරන අවනම්බුවකි. ඔවුන් දශක තුනක සිට එක තැන පල්වෙමින් එහාට මෙහාට විසි විය. රටට වැඩක් කළ හැකි පුද්ගලයින් නැති කර ගැනීමේ වගකීම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන පෙළේ නායකයින් වගබලා ගත යුතුයි.

එහි වගකීම් ඔවුන් සතුයි. එක්සත් ජාතික පක්ෂය ගොඩ නඟා ගැනීමට එය වටා විශාල ජනතාවක් හා උගතුන් පිරිසක් එකතු වී ඇත්තේ නැවත එක්සත් ජාතික පක්ෂය නඩත්තු කළ රාජකීය හමුදාවට එකතුවීමට අකැමැති නිසාය. මෑතකාලීන එක්සත් ජාතික පක්ෂය නඩත්තු කළේ වෙනත් පක්ෂවලින් එක්සත් ජාතික පක්ෂයට එක් රැස් වූ පිරිසය. ඔවුන්ට පක්ෂයේ චින්තනයට වඩා වැදගත් වූයේ සමගි ජන බලවේගයට තනි ගමනක් යෑමට හැකි වේ. එම ගමන දුර විය හැකිය. වෙහෙස විය හැකිය. සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස මහතා අසාර්ථක වූයේ නැත. ඔහුට දිනා ගැනීමට නොහැකි වූයේ රනිල් පාර්ශ්වය තරග කළ බැවිනි. රනිල් තරග නොකළා නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මහතා අසාර්ථක බව නොව නිසි කල වේලාවට එක්සත් ජාතික පක්ෂයේ නිවැරදි ලෙස නායකත්වය හුවමාරු කළා නම් අද මේ රට දුප්පතා රජ වන දවසකි. එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිස් කිහිප දෙනෙකු හැර සජිත්ට නායකත්වය දිමට කැමැති වීම පාක්ෂිකයෝ වෙති.

නමුත් තම මතය ඉටුකර ගැනිම එක්සත් ජාතික පක්ෂය පාවාදීම නැවත එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂවලට කොටුකර විනාශ කිරිමට අප එකඟ නොවේ. එක්සත් ජාතික පක්ෂය එකතු විය යුත්තේ සමගි ජන බලවේගය සමඟ පමණි. එසේම එහි නායකත්වය සමගි ජන බලවේගයට දිය යුතුයි. සිරිකොත ද නැවත සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතුයි. මා දකින්නේ දුප්පතා රජ වන දවසක් ලෙසයි. එය එසේ නොවුණහොත් වෙනත් පක්ෂ මේ රටේ දිනවීමට එක්සත් ජාතික පක්ෂයට දායක වීමට සිදුවේ. සමගි ජන බලවේගය ගොඩනැඟුවේ ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෝය. එය ශුද්ධ වූ පක්ෂයකි. සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ වගකීම භාර දිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT