මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 105 වන ජන්ම දිනය හෙටට (13) යෙදී තිබේ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.)
ඖෂධ මාෆියාවට එරෙහිව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සදා එය ක්‍රියාවට නැඟීමට 1971 තරම් ඈතකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව සහ ඔසුහල නිර්මාණය කර,එයින්ද නොනැවතී සිය පොදුජන සුබදායී ඖෂධ ප්‍රතිපත්තිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොව පුරා විසිරී අනෙකුත් දිළිඳු රටවලට ව්‍යාප්ත කිරීමට දිවි හිමියෙන් කැපවූ මහාචාර්ය සේනක බිබිලේගේ මැදිහත්වීම කිසිදා අමතක කළ නොහැකි ය.
1971 දී පත්වූ සමගි පෙරමුණ ආණ්‌ඩුව මුල්වරට බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම ආරම්භ කරයි. එකල පැවැති බහු ජාතික ඖෂධ සමාගම් එයින් කෙතරම් කලබල වූයේද යත්, වසර හයකට පසු එකී ව්‍යායාමය අඩපණ වනතෙක්‌ම පැවති රජයට එල්ල වූ බලපෑම් සුළුපටු නොවේ. නමුත් එම වසර හය තුළ සනිටුහන් වන්නේ ලොව දැවැන්තම ජාවාරමට එරෙහි තනි පුද්ගල සටනක සාඩම්බර, පුරෝගාමී මංසලකුණු යැයි කිවහොත් එහි වරදක් නැත.“මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබාදීම” බිබිලේ ප්‍රතිපත්තියේ මූලික හරය ලෙස සැලකිය හැකිය. 1971 මාර්තු 23 දින මහාචාර්ය සේනක බිබිලේ නව යෝජනා ඇතුළත් වාර්තාවක් එවකට අලුතින් පත්වූ සමගි පෙරමුණු රජයට ඉදිරිපත් කළේය.
1. ලංකාවට අනවශ්‍ය බේත් වර්ග ගෙන්වීම නතර කිරීම.
2. ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක් යෙදීම.
3. ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම රජයට පවරා ගැනීම.
4. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම.
5. ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම.
6. ඖෂධ පිළිබඳ පේටන්ට් නීති සංශෝධනය කිරීම.
7. ඖෂධවල තත්ත්ව පාලනය සඳහා සූක්‍ෂම පරීක්‍ෂණාගාරයක් ආරම්භ කිරීම.
මෙම යෝජනාවලට අනුකූලව, 1971 සැප්තැම්බර් 22 රාජ්‍ය ඖෂධ සංස්‌ථාව පිහිටුවන ලද අතර, එහි සභාපතිවරයා ලෙස මහාචාර්ය සේනක බිබිලේ පත්විය. තමන්ට වෙන් කළ කාමරයක්, මේසයට සීනුවක් හෝ නොමැතිව සේවකයන් සමඟ එක්ව හිඳ කිසිදු වැටුපක් නොලබා, 1976 දෙසැම්බර් 28 දින ඖෂධ සංස්‌ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන තෙක්ම, සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදී බදාදා උදෑසනම කොළඹට පැමිණීයේද දුම්රියෙනි. ඔහු ඒ සඳහා තම නිල රථය භාවිත කළේ නැත. ඔහුට වෙන් වූ සංස්‌ථා නිල රථය සංස්‌ථාවේ හැම සේවකයෙක්‌ටම පොදු වාහනයක් විය.
බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් ඖෂධ ක්‍ෂේත්‍රය ගලවා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවන බව මහාචාර්ය බිබිලේ දැන සිටියේ ය. එහෙත් නොපසුබට වීර්යයකින් යුතු මහාචාර්යවරයා සිය පියවර පසුපසට ගත්තේ නැත. 1973 වර්ෂය වන විට ඖෂධ ආනයනය සම්පුර්ණයෙන්ම රජය සතුකර ගැනීමට ඖෂධ සංස්‌ථාවට හැකි විය. මෙකල වැලියම් නමැති ඖෂධය බහු ජාතික සමාගම අලෙවි කළේ පෙත්තක් ශත 92 බැගිනි. ටෙන්ඩර් කැඳවීමේදී එම සමාගම ම එම පෙත්තක් ශත 57 කට දීමට ඉදිරිපත් විය. එහිදී ඉන්දියාවේ සමාගමක් මෙම පෙත්ත ලබා දුන්නේ ශත දෙකක් වැනි අඩු මුදලකටය. සමාගම් ලැබූ ලාභය එයින් පැහැදිලි විය.
එහෙත් බහුජාතික සමාගම් මෙම තත්ත්වය පරාජය කිරීමට දිගින් දිගටම විවිධ උපක්‍රම යෙදීය. 1973 මැයි මාසයේදී අෙමරිකානු ඖෂධ සමාගමේ සභාපතිගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා රජයට ලැබුණූ ලිපියකින් කියැවුණේ , ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදනයට ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍යට ද අහිතකර බව ය.
තමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ලොවපුරා ක්‍රියාත්මක කිරීම බිබිලේ ගේ අරමුණ විය. 1976 වර්ෂයේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී මහාචාර්ය බිබිලේ ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු දැක්‌වීය. ඖෂධ සංස්‌ථාවෙන් ඉවත්වන ඔහු 1977 අප්‍රේල් 24 දින අන්ක්‌ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ විශේෂඥයා ලෙස වැඩ බාරගත්තේ ය. අනතුරුව මැලේසියාව, ඇෆ්ගනිස්‌ථානය සහ නේපාලය යන රටවල් සඳහා වන ඖෂධ ප්‍රතිපත්තීන් සකස් කළේය. මෙයින් බහුජාතික ජාවාරම්කරුවන් මහාචාර්ය සේනක බිබිලේ කෙරෙහි වඩ වඩාත් කෝප වූවාට සැකයක් නැත.
1977 සැප්තැම්බර් 28 දින වන විට මහාචාර්ය බිබිලේ සිය ප්‍රිය බිරිඳ ලීලා බිබිලේ ද කැටුව ගයනා දූපතට පැමිණ සිටියේය. ඒ බටහිර ඉන්දීය දූපත්වල ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමට ය. එහෙත් 1977 සැප්තැම්බර් 29 දින උදෑසන ගයනාවේ රෝහලකදී මහාචාර්ය සේනක බිබිලේ දෙනෙත් පියා ගන්නේ, අසාමාන්‍ය ආකාරයෙන්, හෘද රෝගයකට ගොදුරු වීමෙනි. එලෙසම, අසාමාන්‍ය ලෙස, රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොලැබූ රෝගියකු වශයෙනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 57 කි. මරණයට හේතුව හෘදයාබාධයක් බවට වාර්තා නිකුත් වූවත්, හදිසියේ සිදු වූ අබිරහස් මරණය පසුපස ලෝක ඖෂධ ජාවාරම් කරුවන් සිටින බවට සැකයක් ඉතිරි විය.
දේශපාලනයේ දී, ලංකා සමසමාජ පක්ෂය ඔස්සේ තම දේශපාලනික දිවිය ආරම්භ කළ සේනක බිබිලේ මහතා, පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීම උදෙසා ප්‍රබල මැදිහත්වීමක් කළේ ය. එහිදී ඔහු සිය හඬ අවදි කරන්නේ ජාත්‍යන්තර ඖෂධ වෙළෙඳ සමාගම් වල නින්දිත ක්‍රියාකලාපය හේතුවෙනි. බහුජාතික සමාගම් විසින් රෝගීන් සූරාකමින් ලොව පුරා ගෙන යන ඖෂධ මාෆියාවේ ස්‌වභාවය මහාචාර්ය සේනක බිබිලේ විසින් මුළු ලෝකයටම හෙළි කළ අතර දුප්පත් රටවල් මේ මාෆියාකරුවන්ගෙන් ගළවාගැනීමට ඔහුට බලවත් වුවමනාවක් තිබිණි. රටට ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට සහ මෙරටට ගෙන්වන ඖෂධ නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව මහාචාර්ය බිබිලේ එදා අවධාරණය කළේ ඒ නිසාම ය.
අදට වසර 48 කට පෙර අපගෙන් සමුගත් මහාචාර්ය සේනක බිබිලේ ක්‍රියාත්මක කරවීමට උත්සාහ දැරූ ප්‍රයත්නයන් ඵල ගැන්වී බිබිලේ ප්‍රතිපත්ති මත පදනම්ව සැකසු, ශ්‍රී ලංකාව සඳහා වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2005 ඔක්තෝම්බර් මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එම ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකුල වන පරිදි සැකසු “ජාතික ඖෂධ නියාමන අධිකාරිය”පිහිටුවීම සඳහා වූ පනත 2015 මාර්තු මස ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නා ලදි.
එසේම විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහකට ආසන්න පිරිසකගේ එකතුවෙන් 2019 දී සකස් කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පසුගිය වසරවල දී ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමෙන් ඖෂධ සැපැයුම, නියාමනය සහ ඇස්තමේන්තු සැකසීම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇත. ලංකාවේ බලයේ සිටි පසුගිය ආණ්ඩුවල සෞඛ්‍ය ඇමැතිවරු කිසිවෙක් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් ලෙස සම්මත කර ගැනීමට ක්‍රියා නොකළහ.
මේ අනූව ශ්‍රී ලංකා පුරවැසියන්ට ඉමහත් යහපතක් ගෙනෙන, ඖෂධ සඳහා රජයට වැයවෙන විශාල මුදලක් ඉතිරි කරගත හැකි අතවශ්‍ය පියවරක් වන “ජාතික ඖෂධ නියාමන අධිකාරිය”පිහිටුවා වසර 10 කට ආසන්න කාලයක් ගතව ඇතත්, එහි අඩංගු වූ රෝගීන්ගේ සුභ සිද්ධිය පිණිස වන අත්‍යවශ්‍ය නිර්දේශයන් කිහිපයක් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට බලධාරීන් අසමත් වී ඇති බව කනගාටුවෙන් වුවද මෙහි සටහන් කළ යුතුව ඇත.
එම්. තාරික්