Wednesday, April 23, 2025
Home » රටගිය ඇත්තෝ මෙරටට ගෙන්වන අපේ සුව සේවය

රටගිය ඇත්තෝ මෙරටට ගෙන්වන අපේ සුව සේවය

by sachintha
February 12, 2025 1:44 am 0 comment

ලංකාවෙන් දියුණු රටවලට සංක්‍රමණය වූ අය ලංකාවේදී තමන් ලැබූ සෞඛ්‍ය සේවය පිළිබඳ ඉතා ප්‍රශස්ත වර්ණනා කරනු දක්නට ලැබුණා. මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අගය කළ යුතු බොහෝ දේ මෙන්ම එය මුහුණ දෙන අභියෝගද රාශියක් තිබෙනවා.

එතෙර යන ලාංකිකයන් බොහෝ දෙනකුට දැනෙන සහ කතාබහට ලක්වෙන ප්‍රධාන අඩුවක් වන්නේ මෙරට අත්දකින්නට ලැබුණු සෞඛ්‍ය සේවය යි. මෙහිදී ලංකාවේදී ලැබෙන පුද්ගලික මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවයත් අගය කිරීම දක්නට ලැබෙයි.

ලොව විශිෂ්ඨතම ජාතික සෞඛ්‍ය සේවයක් ඇති බව කියන බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම දියුණු පුද්ගලික සෞඛ්‍ය සේවයක් ඇති අමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයනුත් ඒ ඒ රටවල සෞඛ්‍ය සේවා ගැන මැසිවිලි නඟනු පෙනෙයි. ඇතැම් ලාංකිකයින් තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සලසා ගැනීම වෙනුවෙන් නිවාඩු ලබා මෙරට සංචාරය කිරීමද දකින්න පුළුවන්.

ලංකාව කියන්නෙ මානව සංවර්ධන දර්ශකවල සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉහළින් සිටින රටක්. දුප්පත් පොහොසත් බේදයක් නැතුව රාජ්‍ය සෞඛ්‍ය සේවය ලබන්න හැකි වීම රටක් විදියට ලංකාව ගැන ආඩම්බර විය හැකි තත්ත්වයක්. රටක් ආර්ථික වශයෙන් කෙතරම් දියුණු වුණත්, රටේ ආන්තික ප්‍රජාවට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට නොමැති නම් එම දියුණුව කියන්නෙ අපට රටක් ලෙස සංතෘප්ත විය හැකි සේවයක් නොවේ. එමෙන්ම තමන්ගෙ හෝ තම ආදරණීයකුගේ අසනීපයකට ප්‍රතිකාර ලබා අවසන් වන විට දැඩි ණය කන්දරාවකට යමෙකුට මුහුණ දීමට සිදුවෙනවා නම් ඒ රට දියුණු රටක්ද කියන ප්‍රශ්නය අපට අහන්නට සිදුවෙනවා.

මෑත කාලයේ ලංකාවෙන් දියුණු රටවලට සංක්‍රමණය වූ අය ලංකාවේදී තමන් ලැබූ සෞඛ්‍ය සේවය පිළිබඳ ඉතා ප්‍රශස්ත වර්ණනා කරනු දක්නට ලැබුණා. මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අගය කළ යුතු බොහෝ දේ මෙන්ම එය මුහුණ දෙන අභියෝගද රාශියක් තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය අන්දමින් රොමෑන්තිකකරණයකට යනවාට වඩා එහි වැඩිදියුණු විය යුතු අංශ සහ දිශා පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි. ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවය අතේ මිටේ සල්ලි තියෙන බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගන්න දෙයක්. ඉතාමත් දිළිඳු පුද්ගලයකු වුවත්, සුළු මුදලක් වැය කර වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සුලභ තත්ත්වයක්. ක්‍රයශක්තියක් ඇති ඕනෑම කෙනෙක්ට ඉතා පහසුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ගේ සේවය ලංකාවේදී ලබා ගත හැකියි.

මේ කාරණාවල සුභවාදී ලක්ෂණ බොහොමයක් තිබුණද මේවායේ අසුභවාදී ලක්ෂණද එලෙසම යි. ලංකාව කියන්නෙ ප්‍රතිජීවක ඖෂධ (antibiotics) අවභාවිතා කිරීම වැඩි වශයෙන් සිදුවෙන රටක්. සෙම්ප්‍රතිශ්‍යාවක් උණක් හැදෙන හැමවිටම එක බෙහෙත් වේලෙන් දෙකෙන් සුව වීමේ හදිසියක් ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබෙනවා. ඒ නිසාම වඩා ජනප්‍රිය සහ මුදල් උපයන ක්‍රමයක් වන්නෙ මෙවැනි රෝගීන් තෘප්ත වෙන පරිදි බෙහෙත් ලබා දීමයි.

මෙලෙසම පෞද්ගලික වෛද්‍ය ආයතනවල අවශ්‍ය මෙන්ම අනවශ්‍ය පරීක්ෂණ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම හරහා මුදල් අය කිරීම් සිදුවෙන බවට චෝදනා නැඟෙනවා. ලංකාව යනු සිසේරියන් සැත්කම් ප්‍රතිශතය ගත් කළ බ්‍රිතාන්‍යය වැනි ජාතික සෞඛ්‍ය සේවාවක් ඇති රටකට සාපේක්ෂව පවා ඉතාම වැඩි රටක්. මෙයට බලපාන බොහෝ සමාජ සංස්කෘතික කාරණා මෙන්ම පෞද්ගලික වෛද්‍ය ආයතන වලින් කෙරෙන පෙළඹවීමද බලපානවා.

ලෝකය විවිධ රටවල වෛද්‍යවරුන් රෝගීන්ට බෙහෙත් නියමකිරීමේදී තමන්ට සහය වන ඖෂධ නිෂ්පාදකයින්ගේ සන්නාම ප්‍රවර්ධනයට කටයුතු කරන බවට චෝදනා නැඟෙනවා. මෙවැනි දේ ලංකාව තුළ සිදුවෙනවාද යන්න පරීක්ෂා කිරීමට සහ නියාමනයට නිසි ක්‍රමවේදයන් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා.

ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ට කිසිදු විවේකයක් නොලබා විශාල රෝගීන් ප්‍රමාණයකට සේවාව ලබා දීමට සිදුවෙනවා. මේ නිසාම සේවාවේ ගුණාත්මක භාවය වගේම සේවකයින්ගේ ජීවන තත්ත්වයද අභියෝගයට ලක්වෙනවා. ඉතාම කැපවීමෙන් රැකියාවේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් රජයේ රෝහල්වල එක් දිනකට පරීක්ෂා කළ හැකි රෝගීන්ගේ ගණන ඉක්මවා පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනවා. බොහෝ වෛද්‍යවරුන් ලංකාවේ ප්‍රමාදවීමට එක හේතුවක් වන්නේ මෙසේ දරාගත හැකි සීමාවට එහා ගොස් රෝගීන් පරීක්ෂාවට ලක් කිරීමයි. ලංකාවෙන් බ්‍රිතාන්‍යයේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට පැමිණි වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම පර්යේෂණයකදී පිළිතුරු දුන්නේ ඔවුන් ලංකාවේ කළ වැඩවලින් තුනෙන් එකක්වත් වෛද්‍යවරයකුට බ්‍රිතාන්‍යයේ කිරීමට සිදුනොවෙන අතර, ඒ නිසා බොහෝ රෝගීන්ට සුහද සේවාවක් සහ නිසි වෙලාවට සේවාව ලබාදීමට ඔවුන්ට හැකිවන බවයි. මෙවැනි තත්ත්වයන් විසඳීමට රජයේ වෛද්‍ය පීඨවල සහ හෙද විද්‍යාලවල ධාරිතාව වැඩි කර වෛද්‍යවරුන් බඳවා ගැනීම, පරිපාලන සහ ලේඛන කටයුතුවලට සේවකයින් රෝහල්වල අනියුක්ත කිරීම කළ හැකියි. එමෙන්ම සේවකයින්ගේ සුබසාධනය සහ උන්නතිය ලබා දීම හරහා ඔවුන්ගේ කාර්යක්ෂම බව වැඩිකිරීම ද ඔවුන්ව රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ රඳවාගැනීමටද කටයුතු කිරීම වැදගත් වේ. පසුගිය කාලයේ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලවල පිරිස් රට අතහැර විදේශවලට සංක්‍රමණය වීම විශාල ගැටලුවක් නිර්මාණය කර ඇති බැවිනි.

අනෙක් අතට, තාක්ෂණික දියුණුව ද මෙහිදී ඉතාම වැදගත්. ලංකාවේ රෝගීන්ගේ දත්ත සහ ඔවුන්ගේ රෝගී ඉතිහාසය ගොනු කර තැබීමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා වෛද්‍යවරුන්ට බොහෝ විට රෝගියාගේ ඉතිහාසය පිළිබඳ රෝගීයාගේ විස්තර මත රඳාපැවතීමට සිදුවෙනවා. මෙය කෙතරම් යහපත් වුවද, බ්‍රිතාන්‍යයේදී මෙලෙස රෝගීන්ගේ දත්ත තැන්පත් කිරීමට ලැබෙන වෙලාව ලංකාවේදී නොලැබෙන බවට ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණි වෛද්‍යවරුන් සඳහන් කරනවා.

ලංකාවේ හදිසි අනතුරු ඒකකවලින් ලැබෙන විශිෂ්ට සේවාව ගැන කතාබහක් පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල දකින්නට ලැබුණා. අමෙරිකාව සහ අනෙකුත් දියුණු රටවල සුළු හදිසි අනතුරකට හෝ අසනීපයකට ලක් වූ විට බොහෝ වේලාවක් ප්‍රතිකාර ලැබීමට බලා සිටිය යුතු වීම මෙහි ප්‍රස්තුතය වුණා. දියුණු රටවලද සෞඛ්‍ය සේවාවන්වල ගැටලු තිබෙන බව සත්‍යයක් වුවත්, මෙහිදී අප අමතක නොකළ යුතු කාරණය විය යුත්තේ හදිසි අනතුරු ඒකකවල ප්‍රමුඛතාව දීමට සහ ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් එම රටවල තිබෙන බවයි. දරුණු හදිසි අනතුරකදී බේරාගත හැකි රෝගියෙක් ලංකාවේදී මරණයට පත්වීමට ඇති ඉඩ ජාතික සෞඛ්‍ය සේවයක්, හදිසි ගිලන් රථ සහ දියුණු පශ්චාත් හදිසි අනතුරු කළමනාකරණ සේවාවක් ඇති බ්‍රිතාන්‍යය වැනි තැනක සාපේක්ෂව කිහිප ගුණයකින් අඩුයි.

ලංකාවේ සුවසැරිය නම් හදිසි අනතුරු ගිලන් රථ සේවාව ආරම්භ වුයේ 2016 වසරේදී වන අතර එයද සපයන්නේ ප්‍රථමාධාර සහ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේද (Basic Life Support) පමණි. තවමත් බොහෝ ප්‍රදේශ වල හදිසි අනතුරකදී රෝගීන්ව ත්‍රීරෝද රථවල සහ ලොරි රථවල ප්‍රවාහනය කෙරෙන අතර හදිසි අනතුරකදී ඇති ජීවිත අවදානම වැඩි වීමට මෙවැනි කාරණා බලපානු ලබයි. මේ නිසා හදිසි ගිලන් රථ සේවාව දියුණු කිරීම, දැඩි ජිවිතාරක්ෂක ක්‍රමවේද, සහ පැරාමෙඩික් වැනි තනතුරුවලට අවශ්‍ය පුහුණුව ලබා දීමෙන් හදිසි අනතුරු ප්‍රතිකාර කණ්ඩායම් ජනගත කීරීම හරහා හදිසි අනතුරුවලට මුහුණ දීමේ හැකියාව දියුණුවට පත් කළ හැකියි.

අාචාර්ය

කෞෂල්‍යා හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT