දශක ගණනාවක් මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කරමින් මනා අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් රැස්කර ගත් හා ප්‍රායෝගික විසඳුම් යෝජනා හඳුනාගත් විද්‍යාඥයන්, පර්යේෂකයන්, පරිසරවේදීන් හා වෙනස් විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් අපට ඉන්නවා. නමුත් තම බුද්ධිය හා හැකියාවන් දායක කරලීමට ඔවුනට තවමත් නිසි අවස්ථාවක් හිමිව නැහැ.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ප්‍රථම උපාධිය හැදෑරූ ආචාර්ය ගාමිණී පියදාස, කලක් එහි පර්යේෂකයකු ලෙස කටයුතු කළ අතර 2000 වසරේදී කොළඹ හා ස්වීඩනයේ Uppsala විශ්වවිද්‍යාල මගින් සිය ආචාර්ය උපාධිය හැදෑරීය. පසුව ඔහු කොළඹ සරසවියේද, ස්විඩනයේ Uppsala සරසවියේද, කැනඩාවේ Manitoba සරසවියේද භෞතික විද්‍යා පර්යේෂකයකු ලෙස දිගු කලක් කටයුතු කළේ ය. හෙතෙම බටහිර විද්‍යාවේ ගුරුත්වය පිළිබඳ ඇතැම් සංකල්ප හා න්‍යායන් අභියෝගයට ලක් කරමින් නව සංකල්ප ලොවට දායාද කිරීමට සමත් වූවෙකි. ඔහු ප්‍රති ගුරුත්වාකර්ෂණය (Anti-gravity)පිළිබඳ සංකල්පය හඳුන්වා දෙමින් වසර ගණනාවක සිට ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් සිටියි. එයට අමතරව සූර්ය බල ශක්ති පරිවර්තනය, බලශක්ති සංරක්ෂණය පිළිබඳවද මුලික පර්යේෂණයන්හි (Fundamental research) නියැළී සිටියි. මේ ඔහු හා කළ කතා බහකි.)
ඔබගේ පර්යේෂණාත්මක අත්දැකීම් සහ ඔබ විසින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකා පිළිබඳ යමක් කීවොත්?
මම ආචාර්ය උපාධිය හැදෑරීමට 1989දී ස්වීඩනයට ගිහින් Uppsala විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරද්දී පර්යේෂණ කටයුතුවලට විශාල නිදහසක් හිමි වුණා. එයට විශාල රුකුලක් වුණේ මගේ අධ්‍යයන කටයුතු මෙහෙය වූ මහාචාර්ය PerHakansson දැක්වූ සහයෝගයයි. එහි ප්‍රතිඵලයක් විදිහට මට භෞතික විද්‍යාවේ විවිධ ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණ කිරීමට අවකාශ ලැබුණා. උදාහරණ වශයෙන් වලාකුළු භෞතිකය (CloudPhysics) ස්කන්ධමිතිකමාන පිළිබද අධ්‍යයන (Mass Spectrometry),විද්‍යුත් චුම්බක වාදය (Electromagnetism), දෘෂ්ටි විද්‍යාව (Optics), විදුලි බල පද්ධති (Power system Engineering)යන ක්‍ෂේත්‍ර දක්වන්න පුළුවන්. එසේම ඒවා පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ලොව පිළිගත් විද්‍යා ප්‍රකාශන(Web of Science) වල පළකිරීමට හැකි වුණා. ඒ සමඟ ප්‍රතිගුරුත්ව සංකල්පය (Anti- Gravity)පිළිබඳව ද විශේෂ අධ්‍යයනයක් කිරීමට හැකි වුණා. විශේෂයෙන් මාගේ ආචාර්ය උපාධිය තුළ සොයා ගත් නව ආකාරයේ ස්කන්ධමිතිකමාන ක්‍රමවේදයට අමෙරිකාවේ Origon s tate විශ්වවිද්‍යාලය සමඟ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයක් හිමිවුණා. එම උපකරණය 2000 වර්ෂයේ සිට අමෙරිකාවේ Applied Biosystems ආයතනයේ 4700 Proteomics Analyzerලෙස දක්වා නිෂ්පාදන කෙරෙමින් පවතිනවා.
ඔබ විසින් ඉදිරිපත් කළ ප්‍රතිගුරුත්ව සංකල්පය (Anti- Gravity) ගැන යමක් කිව හැකිද?
භෞතික විද්‍යාත්මක බල අතර ලෝකයේ මුල්ම සොයා ගැනීමක් ලෙස ගුරුත්වාකර්ෂණ බලය පිළිගන්නවා. ගුරුත්වාකර්ෂණ බලය ලෙස සැලකෙන්නේ ආකර්ෂණ බලයක් ගැන පමණ යි. විදත් බලවල ආකර්ෂණ සහ විකර්ෂණ බල යනුවෙන් දෙකොටසක් තියෙනවා. මගේ පර්යේෂණයට හේතු වුණෙත් ජල වාෂ්පවලින් සෑදුණු වලාකුළු අහසේ රැඳී තිබෙන්නට නම් එතැනදීත් විකර්ෂණ බලයක් තිබිය යුතුමයි කියන කාරණය යි. ඒ ගැන මම විශ්වාස කළා. ඒ සංකල්පය මම පර්යේෂණාත්මක ව ලෝකයට ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිගුරුත්වාකර්ෂණය ගැන පර්යේෂණ සිදු කළා. මෙය ලොව පිළිගත් නූතන විද්‍යාවෙහි මහත් පෙරළියක් කළ හැකි අභියෝගාත්මක සංකල්පයක්. මෙහි න්‍යායාත්මක ගොඩනැංවීම සඳහා මම අඛණ්ඩව පර්යේෂණවල නිරතව සිටිනවා. එයට සමගාමීව බල ශක්ති පිළිබඳ විශේෂයෙන් සූර්ය බල ශක්ති පරිවර්තනය පිළිබද පර්යේෂණාත්මක අධ්‍යයන සිදු කරනවා.
විද්‍යා හා තාක්ෂණ ක්‍රමවේදයන් ඵලදායි හා ප්‍රායෝගික ලෙස ගළපාලීම පිළිබඳ කලක සිට අදහස් පළ කරන ඔබ වත්මන් රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය ගැන මොකද කියන්නේ?
ජාතික ජන බලවේගය රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි “විද්‍යා සහ තාක්ෂණය සමඟ එකට බැඳුණු පර්යේෂණ සහ සංවර්ධන (Research and Development -R&D) ක්‍රියාදාමය අගය කළ කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟා සිටුවන අතර සමස්ත මානව සහ සමාජ ප්‍රවර්ධනයටද උරදෙයි” යනුවෙන් සඳහන් කර තියනවා. එමඟින් ශ්‍රී ලංකාවේ රජයක් විසින් ලංකාවේ භෞතික සහ මානව සංවර්ධනය උදෙසා විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳ සුවිශේෂී අවධාරණයක් කිරීම අගය කළ යුතුයි.
එහෙත් මෙහිදී අපට මගහැරුණු අවධානය යොමු කළ යුතු සුවිශේෂීතම කාරණය නම් විද්‍යාව හා තාක්ෂණ ප්‍රතිපත්තිය හුදු විද්‍යාත්මක පර්යේෂණ, නව නිපැයුම්, පර්යේෂණ පත්‍රිකා, පේටන්ට් බලපත්‍ර සහ විද්‍යාත්මක දැනුම ජාත්‍යන්තරයට ගෙන යාම සහ එකී දැනුම මුදල් බවට පරිවර්තනය කිරීම පමණක් නොවන බවයි. සමාජයේ කාලාන්තරයක් පුරා නොවිසුඳුණු, ඒ නිසාම බෙහෙවින් අර්බූදකාරී ලෙස සමාජ ආර්ථිකය පීඩනයට පත් කරන උග්‍ර ගැටලු සඳහා කල් පවත්නා වූ ජෛව හිතකාමී, ස්ථිරසාර විසඳුම් ලබාදීමට ද කඩිනමින් විද්‍යා තාක්ෂණ ක්‍රියාවලිය ගලපා ගැනීම අතිශයින් වැදගත් හා ප්‍රමුඛ කාර්යය විය යුතු බවයි.
මෙරට බහුතරයක් ජනයා මාලිමාවට ඡන්දය ප්‍රකාශ කළේ දශක ගණනාවක් පුරා ඔවුන් මුහුණ පා සිටින අතිශය පීඩිත තත්ත්වයෙන් මිදීමේ අපේෂාවෙන්. ඒ නිසා රටෙහි කවර ක්ෂේත්‍රයක හෝ සංවර්ධන සැලසුම් හා ව්‍යාපෘතීන් එකී ජනතාවගේ ගැටලු විසඳීම හා අපේක්ෂාවන් ඉටු කිරීමේ මූලික පදනම මත පිහිටා ප්‍රමුඛතාව දැක්වීම හා ඒ සඳහා කඩිනමින් සැලසුම් සකස් කිරීම කළ යුතුයි.
ඔබ අදහස් කරන්නේ රජය තවමත් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙහිලා ප්‍රමුඛතා හඳුනා ගෙන නැති බවද?
ඔව්. මා විශ්වාස කරන්නේ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාවලිය සමාජ ආර්ථික දරිද්‍රතාවය පිටුදැකීමට ප්‍රමුඛත්වය දැක්විය යුතු බවයි.
නව රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ දිශානතිය වෙනස් කිරීම සඳහා ඔබ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නේ කුමන පදනමක සිටද?
ශ්‍රී ලංකාවේ නොවිසඳී පවතින ගැටලු, අර්බුදයන්ගේ සැබෑ ස්වරූපය හා යථාර්තය පිළිබඳ මනා අවබෝධයක් දැක්මක් හා ප්‍රායෝගික අත්දැකීම් තිබීම වැදගත්. මා 2000 මුල් කාල වකවානුවේ සිට පර්යේෂණ කටයුතු වලට අමතරවල ලංකාවේ සමාජ සංවර්ධන හා ආරක්ෂණ ව්‍යාපෘතීන්හි උපදේශකවරයකු හා සම්බන්ධීකාරකයකු ලෙස ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ පුරාණ වාරි තාක්ෂණය, වත්මන් ග්‍රාමීය සංවර්ධනය සමඟ ඵලදායි ලෙස උපයෝගී කර ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව සහභාගීත්ව සංවර්ධන ක්‍රමවේදය (PRA) හරහා රජරට කේන්ද්‍ර කරගෙන ගොවි ජනතාවගේ ගැටලු හා විසඳුම් ඔවුනගේද සහභාගීත්වයෙන් හඳුනා ගනිමින් සාර්ථක ව්‍යාපෘතියක් කිරීමට දායක වුණා.
ඒසේම පාසල් දරුවන් අතර විද්‍යා හා ගණිත විෂයන් පිළිබඳ රුචිකත්වය ප්‍රවර්ධනය කරමින් විද්‍යා පර්යේෂණ පිළිබඳ හඳුන්වාදීමේ සාර්ථක ව්‍යාපෘතියක් ජාතික විද්‍යා පදනම (NSF) සහ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව සැලසුම් කරමින්, සම්පත් දායකත්වය දක්වමින් ක්‍රියාත්මක කළා. බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් සිසුන්ගේ ගණිත විද්‍යා විෂයන් කෙරෙහි නැමියාව සංවර්ධනය කරමින් ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘතියකටද දායක වුණා. මෙහිදී සිසුන්ගේ අපේක්ෂිත ප්‍රතිඵල ඉලක්ක සපුරා ගත්තා.
ඔබ යෝජනා කරන්නේ සොබාදහම හා පරිසර හිතකාමී, සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලියක්. එය පවතින ගෝලීය දේශපාලන ආර්ථිකය තුළ ස්ථාන ගත කිරීම කෙතරම් ප්‍රායෝගිකද?
ඔව්. එය ඉතා අසීරු කාර්යක්. එහෙත් මනා සැලසුම් ගත විද්‍යාත්මක ක්‍රමවේදයන් හා මානව හිතවාදී සිතා බැලීම් ඔස්සේ එවන් සංවර්ධන ප්‍රවේශයකට අප යොමුවිය යුතුයි.
එය තවත් ටිකක් පැහැදිලි කළ හැකිද?
දැනට පවතින පසුගාමී ආයතනික රටාවන් ඔස්සේ අප බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක සපුරා ගන්න බැහැ. ඒ නිසා විවිධ ක්ෂේත්‍රයන්හි අප මුහුණ දී සිටින ගැටලු කළමනාකරණය කිරීම, හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම, තිරසර පරිසර කේන්ද්‍රීය සංවර්ධන කාර්යයට නිසි ඵලදායි ප්‍රවේශයකින් මැදිහත්වීම සඳහා විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය යටතේ සෑම අමාත්‍යාංශයක්ම හා සෙසු අදාළ ආයතන සම්බන්ධීකරණය කළ හැකි බලතල සහිත ස්වාධීන නව ආයතනයක් ස්ථාපිත කිරීම ඉතාම අත්‍යවශ්‍ය ඉදිරි පියවරක්. එම නව ආයතනය හරහා මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රගතිශීලී හා මානව හිතවාදී දෘෂ්ටියක් සහිත ප්‍රමාණික ප්‍රායෝගික බුද්ධියක් ඇති දේශීය බුද්ධිමතුන්ද විද්‍යා තාක්‍ෂණ ක්‍රියාවලියට දායක කර ගනිමින් රටෙහි සංවර්ධනයට උරදීමට ඔවුනගේ ශක්‍යතාවන්ටද පසු තලයක් සැකසිය යුතුයි.
ඔබ සිතන පරිදි විද්‍යාත්මක අධ්‍යයනයන් හා ක්‍රමෝපායන් උපයෝගී කර ගැනීම හරහා මානව හා භෞතික සම්පත් නිසි කළමනාකරණයකින් අපගේ සංවර්ධන කාර්යයට දායක කිරීමේ අභියෝග ජය ගත හැකිද?
පැහැදිලිවම ඔව්. ඇත්තටම අපේ රටේ විශාල ප්‍රමාණයක් ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ වශයෙන් ඛනිජ වැලි, මිනිරන්, කිරිගරුඩ (Quarts), ශ්‍රී ලංකා සාගර සීමාවන් තුළ ඇති කොබෝල්ට් වැනි ඛනිජ සම්පත්. මෙතරම් වටිනා සම්පත් රැසක් තබාගෙන ආර්ථිකව ඉතාම දිළිදු රටක්ව පැවතීම ගැන කනගාටුයි.
ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර යේ උපාංග නිපදවීමට භාවිතා කරන සිලිකන් අවසන් සැකස්මේ දී ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල මුදලකට අලෙවි කරනවා. අපේ රට සිලිකන් කිලෝ 1ක් විකුණන්නේ ඩොලර් කිහිපයකටයි. ඒත් ඒවා මුලික අමුද්‍රව්‍ය ට එහා අගයක් එකතු කර (value added) සකසා අපට අලෙවි කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත අපට තියනවා. මේවා කරන්න පුළුවන් කියා විද්‍යාඥයන් පැවසුවත්, දේශපාලන නොසැලකිල්ල නිසා මේ අවස්ථාවන් මග හැරුණා. නමුත් වර්තමානයේ නිසි කළමනාකරණයකින් අපගේ සංවර්ධන කාර්යයට මෙම සම්පත් උපයෝගී කර ගන්න පුළුවන්.
මෙරට සංවර්ධනයෙහි ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පර්යේෂකයන් හා බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරකයන්ගේ සහභාගිත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද ?
දශක ගණනාවක් මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කරමින් මනා අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් රැස්කර ගත් හා ප්‍රායෝගික විසඳුම් යෝජනා හඳුනාගත් විද්‍යාඥයන්, පර්යේෂකයන්, පරිසරවේදීන් හා වෙනස් විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් අපට ඉන්නවා. නමුත් තම බුද්ධිය හා හැකියාවන් දායක කරලීමට ඔවුනට තවමත් නිසි අවස්ථාවක් හිමිව නැහැ. අපගේ “විද්‍යා සහ තාක්‍ෂණික කමිටුව” මෙතෙක් හඳුනා නොගත් වපසරිය තුළ සිටිනා විද්වතුන්ද හඳුනා ගෙන ඔවුනට ද මෙම සංවර්ධන ක්‍රියාවලියට ආරාධනා කළ යුතුයි.
පාක්ෂිකයන්, හිතවාදීන් පමණක් ළංකර ගැනීම නොව සමස්ත බුද්ධිමතුන්, විද්වතුන්, ප්‍රයෝගික ක්‍රියාධරයන් දායක කර ගැනීම රජයක කාර්යභාරයයි. මේ සඳහා මාලිමා රජයේ “විද්‍යා හා තාක්‍ෂණික” රාමුව තුළ සුදුසු ක්‍රම වේද සකස් කළ යුතුයි. ඒ සඳහා දායකත්වය ලබා දීමට මෙම විද්‍යාර්ථීන් කැමැත්තෙන් සිටිනවා.
ඒ වගේම දේශීය විද්‍යාඥයන් හා පර්යේෂකයන් මුහුණ දෙන සුවිශේෂී ගැටලු හඳුනා ගනිමින් ඒවා විසඳීමට අවධානය යොමු කළ යුතුයි. ඔවුන් ගෙන් ඵලදායී සේවයක් ලබාගැනීම ඉතා වැදගත්.
අපගේ දේශීය තාක්ෂණ හා විද්‍යාත්මක ඥානනය ජාත්‍යන්තරයට රැගෙන යාම පිළිබඳවත් බොහෝ උනන්දුවක් දක්වනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මා ඉහතින් කියූ ප්‍රමුඛ ක්‍රියාවන්ට සමගාමීව අපගේ විද්‍යා පර්යේෂණ හා නව නිපයුම් දිරි ගැන්වීම්, ජාත්‍යන්තරය සමඟ අපගේ විද්‍යා තාක්‍ෂණ පර්යේෂණ සම්බන්ධ කිරීම් හා ඒ සඳහා මුල්‍ය වෙළෙඳපළ ගනුදෙනු හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලියේදී ද, දශක කිහිපයක සිට බටහිර විද්‍යාව අභියෝගයට ලක් කරමින් නව සංකල්ප ගොඩ නැංවූ විද්‍යා පර්‍ර්යේෂකයෙක් වශයෙන් මා මෙසේ සිතනවා.
විද්‍යා තාක්‍ෂණ පර්යේෂණ සඳහා මුල්‍ය හා සෙසු පහසුකම් සැපයීම මෙන්ම බටහිර විද්‍යාත්මක ගොඩ නැංවීම් අභියෝගයට ලක් කිරීමටල පසුබට වන පසුගාමී මනෝභාවයන්ගෙන් බැහැරව ක්‍රියාකළ හැකි මනා පෞර්ෂයන් අපගේ දේශීය විද්‍යා පර්යේෂකයන් තුළ ගොඩනැංවීම හා බටහිර විද්‍යාත්මක සංකල්ප සියුම්ව විමසීමට ලක් කරමින් සිය පර්යේෂණ කටයුතු ජාත්‍යන්තර තලය තුළ අඛණ්ඩව කර ගෙන යාමට හැකි වාතාවරණයක් සැකසිය යුතුයි.
ගෝලීය දේශගුණික විපර්යාසය නිසා උද්ගතව තිබෙන අනතුරුදායක බලපෑම හා මානව වර්ගයාගේ සහ සමස්ත පෘථිවියෙහි පැවැත්ම පිළිබඳ විද්‍යාඥයන් බොහෝ අනතුරු අඟවනවා. මේ පිළිබඳ ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ගෝලීය වශයෙන් ඇති වී ඇති දේශගුණික විපර්යාසයන් නිසා සමස්ත ගෝලීය ජෛව පද්ධතියම අද මහත් පාරිසරික විනාශයන්ට හා බරපතළ ඛේදවාචකයන්ට මුහුණ පානවා. එය භෞතික සම්පත් අතින් ඉතාම දියුණු රාජ්‍යයන්ගේ සිට ශ්‍රී ලංකාව වැනි ඉතා විශාල ආර්ථික හා සමාජීය ගැටලු වලට මුහුණ දී සිටින රාජ්‍යයන් දක්වා එකසේ දරුණු ලෙස බලපානවා. ඒ නොතකා හරිමින් මේ නිමේෂය අපට විද්‍යා හා තාක්‍ෂණ සංවර්ධන සැලසුම් ගොඩ නැංවීම් කිසිසේත්ම ඵලදායි වෙන්නේ නෑ.
නිදසුනක් විදිහට ජාතික ජන බලවේග රජය පැමිණි වහාම කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් ගොවීන් සඳහා පොහොර සහනාධාරය වැඩි කිරීම, යම් ආකාරයක පහසුකම් සැපයීම හරහා ගොවීන් දිරි ගැන්වුවත් පසුගිය කාලයක් පැවති අනපේක්‍ෂිත අධික වර්ෂාව හේතුවෙන් මෙම කුඹුරු හා වෙනත් බෝග වගා අක්කර දහස් ගණනින් විනාශ වීම හා සියවස් ගණනාවකින් නිසි ලෙස ප්‍රතිසංස්කරණය, සංරක්‍ෂණය නොකළ වාරි පද්ධතිය මේ දැඩි ජලධාරිතාව නොදැරිය හැකි බැවින් කැඩී බිඳී යාම නිසා ගොවීන් අන්ත අසරණ වුණා.
මෙම වගා හානියට වන්දි ගෙවීමට රජයට අනපේක්‍ෂිත විශාල වැය බරක් දරන්නට සිදු වුණා. එම වගා හානිය සෘජුවම පාරිභෝගිකයා අසීරුතාවකට පත්කළා. ආහාර මිල ඉහළ යාම නැවත පාරිභෝගික දරිද්‍රතාව හා පෝෂණ මට්ටම් පහළ යාම, සෞඛ්‍ය ගැටලු සමග බද්ධ වන අතර එය රජයටද දේශපාලන හා ආර්ථික වශයෙන් අවාසි සහගත තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා. මෙවන් ගැටලු ආර්ථිකව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අපගේ ජාතික ආර්ථිකයට දරා ගැනීම ඉතා අපහසුයි. මෙවැනි අර්බුද කළමනා කර ගැනීම සඳහා දේශගුණික කාලගුණික විපර්යාස කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි.
ලාංකීය සමාජ – ආර්ථික – දේශපාලනික – සංස්කෘතිකප්‍රගමනය සඳහා විද්‍යාව හා තාක්ෂණ ය සැලසුම් සහගතව ගළපාලීමට වත්මන් දේශපාලන අධිකාරිය නිසි මැදිහත් වීමක් හා සහයක් දක්වන බවට අපේක්ෂාවක් ඔබට තිබෙනවාද?
ඔව්. රජය නිසි මැදිහත්වීමක් සහ සහයක් දක්වයි කියා මට සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා.
සටහන- තිලීනා වීරසිංහ