“දරිද්‍රතාවය යනු මුදල් නොමැතිකම පමණක් නොවෙයි. මිනිසකු ලෙස කෙනෙකුගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට හැකියාවක් නොමැතිකමයි.”-අමාර්ත්‍යා සෙන්
අපායත්, දිව්‍ය ලෝකයත් පවතින්නේ එකම තැනක යයි ගැමි කියමනක් තිබේ. නවීන තාක්ෂණයෙන් ලෝකය මානව සංවර්ධනයේ උත්කෘෂ්ඨ ඉලක්ක සාක්ෂාත් කරගන්නා අතරම දරිද්‍රතාව නිසාම කුසගින්නෙන් හෝ රෝගාබාධවලට ගොදුරුවීමෙන් දෛනිකව අකාලයේ අහිමිවන ජීවිත පිළිබඳ සංඛ්‍යා දත්ත ඉහළ යමින් ඇත.
අද පවතින්නේ අන් කවරදාටත් වඩා තාක්ෂණ විෂය ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමුකරන රජයකි. 77 වන ජාතික නිදහස් දින සමරුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කියා සිටියේ මෙවැන්නකි.
“අපට නිසැක ලෙසම ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි. නමුත් උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවයේ සහ නිදහසේ ආදර්ශ රාජ්‍ය බවට පත්විය හැකියි.” යනුවෙනි.
විද්‍යාව හෝ ඩිජිටල් තාක්ෂණය වරප්‍රසාද ලත් පිරිසකට, උගතුන් හෝ බුද්ධිමතුන් පිරිසකට පමණක් සීමා වූ යුගය නිමාවෙමින් ඇත. වත්පොහොසත්කම යනු අනෙකා පරයා නැඟී සිටීමට පවත්නා හැකියාව නොව අනෙකාද දරාගෙන, අනෙකා සමඟ නැඟී සිටීමට තරම් විවෘත මානසිකත්වයක් සාදා ගැනීමයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.
විද්‍යාව හා තාක්ෂණය සංවාද අහසින් මහ පොළොවට ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි. දුප්පත්කමින් බැට කන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට තම ජීවන තත්ත්වය නංවා ගැනීමට එය රුකුලක් විය යුතු ය. එන ආත්මයේ වඩා හොඳ ජීවිතයක් ඉල්ලා මේ මොහොතේ ජීවිතයේ ඉරණම ආගමට පවරාදීම නොවිය යුතු ය. ‘දරිද්‍රතාව’ට එරෙහිව ‘ආගම’ වෙනුවට ‘විද්‍යාව’ආදේශ විය යුතු ය.
අපි එවැනි දිගු ගමනක සුබ පෙර නිමිති ඇහිඳින්නෝ වෙමු.