හම්බන්තොට සිරිබෝපුර ගුවන් පාලම අසල මාර්ගයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඉකුත් 09 වැනිදා අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු වූ 22 හැවිරිදි තරුණයකු ද කරාපිටිය ශික්ෂණ රෝහලට හම්බන්තොට මහ රෝහලේ සිට මාරුකර යවා ඇතැයි ද පොලීසිය පැවසීය. ඉකුත් 08 වැනිදා රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ පසුපැදිකරු ලෙස පැමිණි හම්බන්තොට සිප්පිකුලමේ පදිංචි 16 හැවිරිදි එම්.ඒ. සල්මාන් අහමඩ් නමැති හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකි. මීගහජඳුර දෙස සිට හම්බන්තොට නගරය දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව සිරිබෝපුර ගුවන් පාලම අසල මාතර දෙසට යන මාර්ගය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන අසල පිහිටි කොන්ක්‍රීට් බැම්මේ යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
තංගල්ල – පද්මසිරි ගාර්දියවසම්