Home » නල්ලූර් කෝවිලේ අස්වනු නෙළා දෙවියන්ට පුදන ‘පුදුර් දිනම් පූසෙයි’ අද

නල්ලූර් කෝවිලේ අස්වනු නෙළා දෙවියන්ට පුදන ‘පුදුර් දිනම් පූසෙයි’ අද

by sachintha
February 12, 2025 1:24 am 0 comment

යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලට අයත් කුඹුරේ 291 වැනි මංගල අස්වැන්න නෙළීමේ පුරාණ චාරිත්‍රය මෙවර ද පෙරේදා (10) අලුයම උත්සවශ්‍රීයෙන් යුතුව ආරම්භ විය.

තෛපූසම් පූජාවල (ජනවාරි මාසයේ පූජාවන්) පළමු දිනයේ පූජාව ‘පුදුර් දිනම් පූසෙයි’ ලෙස හඳුන්වන අතර, එම පූජාව සඳහා කෝවිලට අයත් කුඹුරෙන් කපා ගන්නා ලද වීවලින් සහල් සකසා කිරිබත් පිස පූජාවට තැබීම ගත වූ වසර 290 පුරාම සිදුව තිබේ.

නල්ලූර් කෝවිලේ බාරකාර පූසාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පූසාරිවරු කිහිපදෙනෙකු එම කුඹුර වෙත ගොස් මතුරන ලද ජලය කුඹුරට ඉස හිරු උදාවත් සමඟම මුල්ම ගොයම් ගස් කිහිපය කැපීම ආරම්භ කරනු ලැබන්නේ හින්දු ස්තෝත්‍ර සජ්ඣායනා කිරීම මධ්‍යයේය.

කුඹුරේ වී විශේෂ දෝලාවක තබාගෙන කෝවිල වෙත රැගෙන විත් ඒ සඳහා විශේෂයෙන් පිළියෙල කොට ඇති ස්ථානයකදී වී සහල් බවට පත් කරනු ලබයි. එම සහල්වලින් මුල්ම පූජාව තබන්නේ සෑම වසරකම නවම් පුන් පෝදා උදෑසනය.

ඒ අනුව මෙවර නවම් පෝයදා (12) උදෑසන නල්ලූර් කෝවිලේදී ‘පුදුර් දිනම් පූසෙයි’ නමැති විශේෂ පූජාව පවත්වනු ලබයි.

පූජාවට සහභාගි වන සෑම බැතිමතෙකුටම එම විශේෂ කිරිබතෙන් එක් ගුළියක් බැගින් ලබා දීම සිදු කෙරෙන අතර, එය අනුභව කිරීම පිණිස අතිවිශාල බැතිමතුන් පිරිසක් මෙදින නල්ලූර් කෝවිල වෙත පැමිණීම හින්දු චාරිත්‍රයන් අතර දක්නට ඇති තවත් පුරාණ චාරිත්‍රයකි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT