Home » මීගහකිවුල බෝගහපතන විදුහලේ සිසුහු හැරී යති
ඉන්න ගුරුවරු දෙන්නම ඇවිත් නෑ

මීගහකිවුල බෝගහපතන විදුහලේ සිසුහු හැරී යති

by sachintha
February 12, 2025 2:22 am 0 comment

කිසිදු ගුරුවරයෙකු නොපැමිණීම හේතුවෙන් ඊයේ (11) බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් මීගහකිවුල බෝගහපතන විද්‍යාලය වෙත පැමිණි දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මවුපියෝ පැවැසූහ.

පාසලට ඇතුළත් වීමේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ඉබි යතුරු යොදා තිබිණි.

පාසල් අසලදී හමුවූ දරුවන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා සිටියේ අද දින පාසල නොපැවැත්වෙන බැවින් තමුන්ට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති බවකි. පාසලට එකදු ගුරුවරයකු හෝ නොපැමිණෙන බව දැනගන්නට ලැබීම නිසා උදෑසන පාසල වෙත රැගෙන ආ තම දරුවන් යළිත් නිවෙස් කරා රැගෙන යන බව පාසල අසලදී හමුවූ දෙමාපියෝ පැවැසූහ.

මේ සම්බන්ධයෙන් අප ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතාගෙන් විමසීමට කිහිපවිටක්ම උත්සාහ කළ ද එතුමාගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබිණි. තවදුරටත් එතුමා සම්බන්ධ කර ගැනීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඇමතුමක් ලබා ගත්ත ද අධ්‍යක්ෂවරයා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රැස්වීමකට ගොස් සිටි බව දැනගන්නට ලැබිණි. වියළුව කලාපයට අයත් අතිදුෂ්කර පාසලක් වන බෝගහපතන විද්‍යාලයේ සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු අධ්‍යාපනය ලබන අතර, විදුහල්පතිවරයා ද ඇතුළුව ගුරුවරුන් තිදෙනකු සේවය කරති.

එහෙත් විදුහල්පතිවරයා මේ වන විට අනතුරකින් තුවාල ලබා වෙනත් පාසලකට අනුයුක්ත කර සිටින අතර, එහි සේවය කළ තවත් ගුරුවරියක් ද ප්‍රසූතයට සූදානම් වන බැවින් ඊයේ (11) දින සිට වෙනත් පාසලකට අනුයුක්ත කොට ඇත. ඉතිරි වූ අනෙත් ගුරුවරයාද අද දින අසනීප නිවාඩුවක් යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මවුපියෝ පැවැසූහ. පාසලේ මුරකරු සිටින බව දැනගන්නට ලැබුණද ඔහුව හමුවීමට ද නොහැකි විය.

පාසල පෙරේදා (10) දින පැවැති අතර, සාමාන්‍ය පරිදි ගුරුවරු දෙදෙනෙකු සේවය සඳහා පැමිණ සිටියහ.

‘‘හරිම අමාරුවෙන් ගමට ලැබුණු පාසල. වැඳල කියන්නම් වහන්නනම් එපා” යැයි පාසල ඉදිරිපිටට පැමිණි මවුපියෝ හා ගුරුවරු පවසන්නට වූහ.

මීගහකිවුල සමූහ – එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT