සිය මොන්ටේරෝ රථය විකුණා, තමන්ගේ අනෙක් කාර් රථය බැංකුවේ ඇපයට තබා, ගමට නොමිලේ ගිලන් රථ සේවාවක් ආරම්භ කළ යතිවරයන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු මහියංගණ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එම ගිලන් රථය ඉකුත් 8 වැනි දින ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නය, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරිණි. මහියංගණ මාපාකඩවැව ශ‍්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, මල්ලැරහැවේ ශ්‍රී සරණංකර නාහිමිගේ සංකල්පයකට අනුව, එම හිමිගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කෙරුණු සුව සහන ගිලන් රථ සේවය ‘පන්සලෙන් ගමට’ යනුවෙන් නම් කර තිබේ. බදුල්ල මහ රෝහල, පොලොන්නරුව මහ රෝහල, මහරගම පිළිකා රෝහල හා මහනුවර මහ රෝහල වෙත රෝගී ප්‍රතිකාර වෙනුවෙන් යන වකුගඩු රෝගීන්, අංශභාග, පිළිකා, ළමා රෝගීන් වෙනුවෙන් ගමන් පහසුකම නොමිලේ ලබාදීමට හා ප්‍රදේශයට භික්ෂු ගිලන් රථයක් ලෙස ද සේවාව ලබාදීමට ශ්‍රී සරණංකර නාහිමියෝ බලාපොරොත්තුවෙන් සිටිති. ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති ධර්මෝදය පිරිවෙනේ පරිවේණාධිපති, ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත මතුරට නාපිටවල හිමි, ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණු විහාරස්ථානවල හිමිවරුන් හා ප්‍රදේශයේ ප්‍රභූන් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර